gossip lanka

ජපන් ආධාර යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නවීකරණය වෙයි

ජපන් රජයේ ආධාර යටතේ නවීකරණය කරන ලද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන ජපන් තානාපති, ටොෂිහිරෝ කිටමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරි‍ශ්‍රයේ දී පසුගිය 12 වැනිදා නැවත විවෘත විය.

ජපන් රජය, ග්‍රාමීය පළාත් වල මූලික සමාජීය සේවාවන් වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින්
දියත් කර ඇති “Improvement of Basic Social Services Targeting Emerging Regions” ව්‍යපෘතිය සඳහා, රුපියල් කෝටි 523 ක මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හරහා ප්‍රදානය කරන ලදී. මෙම ව්‍යපෘතිය කොටස් 03 කින් සමන්විත වන අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරිම එහි එක් අංගයකි.

පළමුවෙන්ම 1986 දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජපන් රජය විසින් රුපියල් කෝටි 391 ක ආධාරයෙන් පිහිටුවන ලද අතර, දැන් එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් කෝටි 187 ක ආධාරයක් ලබා දී ඇත. මේ යටතේ, නවීන උපකරණ සැපයීම, ද්‍රව්‍ය ගබඩා කර ගැනිමට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගොඩනැගිල්ලක කොටසක් නවීකරණය කිරීම සිදුකර ඇත. මෙමගින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික ඖෂධ පෙති, කරල් නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු වන අතර එය 70%ක් වන සමස්ථ ජාතික ඖෂධ ඉල්ලුම සපුරාලීමක් වේ. මෙය 2011 වසරේදී 43.6% වූ අගය හා සැසඳීමේදී 25%ක වැඩිවීමකි.

මේ ව්‍යපෘතිය යටතේ, පහත දැක්වෙන ව්‍යපෘතින් ද්විත්වය ද සම්පූර්ණ කර ඇත.

මධ්‍යම, සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් වල ද්විතීය රෝහල් 04ක් නවීකරණය කිරීම. : බෝනොවන රෝග වැලැක්වීමට, කල්තියා හඳුනාගැනීමට, ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් හා අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීම.

ගිලන් රථ 86ක් ප්‍රතිසම්පාදනය කිරීම. :
සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා උතුරුමැද, වයඹ, සබරගමුව, මධ්‍යම, උතුරු, ඌව හා නැගෙනහිර යන පළාත් හි ඇති මූලික රෝහල්ල ප්‍රාදේශීය රෝහල් සහ පළාත් රෝහල් වලට ලබා දී ඇත.

මෙම ආධාර ප්‍රදානයන් ලාංකීය ජනතාවගේ ජිවන තත්වයේ ගුණාත්මක බව වැඩි කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීමටත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය ළඟා කරගැනීමටත් හැකි අයුරින් ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනු ඇතැයි ජපන් රජය විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු වේ.

gossip lanka