යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා..
මෙම නඩුවට හේතු පාදක වුණ කෘතිය තමයි “ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” කියන කෘතිය.
මේ පොත ප්‍රකාශනයට පත් කරලා තිබුණ සරසවි ප්‍රකාශකයන්ට එරෙහිව ධර්මා සමරනායක කියන මහත්මිය වාණිජ මහාධිකරණයේ නඩු පැවරීමක් කරනවා..මේ පොතේ කතෘ ඇය බවත්, පළමු සංස්කරණයෙන් පස්සේ සරසවි ප්‍රකාශකයන් විසින් තමන්ට කතෘභාගය නොගෙවූ බවත්, ඒ නිසා ඇගේ ආර්ථික අයිතිවාසිකම් කඩවූ බවත් පවසමින් තමයි මේ නඩුකරය ගොනු වෙන්නේ..
ඇය ගේන තර්කය තමයි පබ්ලිස් සිල්වා මහතාට ලිවීමට නොහැකි නිසාත්, මේ කෘතිය පබ්ලිස් සිල්වා මහතා සමඟ සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා ඔස්සේ සහ ඔහුගේ සාධනීය සහයෝගය ඇතුව ඇය විසින් ලියන ලද කෘතියක් නිසා මෙහි කතෘ ඇය බව..
වාණිජ මහාධිකරණය විසින් සාක්ශි මෙහෙයවීමෙන් අනතුරුව ඇයගේ මේ තර්කය පිළිගනිමින් මේ කෘතියේ කතෘ ඇය බවත්, සරසවි ප්‍රකාශන් විසින් ඇයගේ අයිතිවාසිකම් කඩකර ඇති බවත් ප්‍රකාශයට පත් කරමින් ඇයට වන්දි වශයෙන් රු 837,500ක මුදලක් සරසවි ප්‍රකාශකයන් විසින් ගෙවිය යුතු බවටත් නියම කරමින් තීන්දුවක් ලබා දෙනවා..
මේ තීන්දුවෙන් අගතියට පත්වුණ සරසවි ප්‍රකාශකයන් විසින් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරනවා.ඔවුන්ගේ ස්ථාවරය වෙන්නේ මෙම කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, ඔවුන් ගිවිසුම්ගතවූ පරිදි ඒ මහතාට නිසි පරිදි කතෘභාගය ගෙවා ඇති බවත්, ධර්මා සමරනායක යනු හුදෙක් ඒ කෘතියේ සංස්කාරක පමණක් වන බවත් ඇයට නිසි පරිදි සංස්කාරක ගාස්තු ගෙවා ඇති බවත්…
මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා විසින් කෘතිය සම්බන්ධව පහත කරුණු වලට අවධානය යොමු කරමින් තීන්දුවක් ලබා දෙනවා..
⭕ මෙම කෘතියේ ‘title page’ එකේ “© Publis Silva” ලෙස සඳහන් වීම නිසා මෙම කෘතියේ ප්‍රකාශන අයිතිය පබ්ලිස් සිල්වා මහතා සතු බව
⭕ කෘතියේ පිටු අංක 3 හි සහ සංස්කාරකගේ සටහනෙහි පැහැදිලිවම ධර්මා සමරනායක යනු කෘතියේ සංස්කාරක ලෙස හඳුන්වා තිබීම නිසා ඇය මෙම කෘතියේ සංස්කාරක පමණක් බව
⭕ කෘතියේ පිටු අංක 7හි (සංස්කාරකගේ සටහනෙහි) “මේ සත්ක්‍රියාවේදී පලමුවෙන්ම මාගේ ස්තුතිය පිරිනමන්නේ මේ ග්‍රන්ථයේ සැබෑ හිමිකරුවා වන පබ්ලිස් සිල්වා මහතාටය” ලෙස ඇය විසින්ම සටහන් කර තිබෙන බව
⭕ කෘතියේ පිටකවරයේ අදාළ කෘතිය පබ්ලිස් සිල්වාගේ ප්‍රථම කෘතිය බවට සඳහන් කර තිබෙන බව
⭕ කෘතිය දොරටවැඩුම සඳහා වූ උත්සවයෙහි ආරාධනා පත්‍රයෙහි “Publis Silva launches his book” ලෙස සඳහන්ව තිබීම
⭕ අධිකරණයට ගොනු කර ඇති කෘතියේ පලමු සංස්කරණ පිටපතේ පබ්ලිස් සිල්වාගේ සමරු අත්සණ සටහන් කර තිබීම
⭕ වාණිජ මහාධිකරණයේ සාක්ශි දෙමින් ධර්මා සමරනායක යන අය “ඔහුට රචනා ශෛලියක් නැහැ,ලියන්නත් බැහැ” යනුවෙන් සාක්ශි ලබා දුන්නද හරස් ප්‍රශ්න ඇසීමේදී “ලිව්වේ මම.එයා කිව්වම මම ගැලපෙන විදියට ලිව්වා” යනුවෙන් සාක්ශි ලබාදීම. “ඒක සංස්කාරකගේ කාර්‍යභාර්‍ය? ” යන ප්‍රශ්නයට පිළිතුරක් නොදි සිටීම
⭕ සරසවි ප්‍රකාශකයන් විසින් ඇය විසින්ම රචිත වෙනත් කෘතින් ප්‍රකාශනයට පත් කර ඇති බවත් ඒවායේ © ලකුණ සහිතව සඳහන්ව ඇත්තේ ඇයගේ නම බවත් ඒවාට නිසි පරිදි කතෘභාගය ලැබී ඇති බවත් ඇය විසින්ම නඩු විබාගයේදි පිළිගෙන තිබීම
⭕ කෘතියේ පළමු පරිච්ඡේද දෙක (පබ්ලිස් සිල්වා මහතාගේ චරිතාපදානය අඩංගු) උත්තම පුරුෂ කෝණයෙන් ලියවී තිබීම
⭕ නඩු විභාගයේදී සිංහල පිළිබඳ විශාරදවරයෙකු සාක්ශි ලබාදෙමින් “කර්තෘ” සහ “සම්පාදක” යන වචන දෙකම සමානාර්ථ දෙන බවට ප්‍රකාශ කලද මහා සිංහල ශබ්දකෝශයට සහ බුද්ධදාස හේවගේ මහතා විසින් සම්පාදිත සිංහල ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව එම වචන වලට වෙනස් වූ තේරුම් දෙකක් ඇති බව.
⭕ බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය හිමිකාරත්වය සම්බන්ධව ප්‍රතිපාදන දක්වා ඇති 14(3) සහ 14(4) වගන්ති කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව
ඉහත කරුණු ඇතුළුව පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව වැරදි බවත් තීරණය කරනවා.
මෙලෙස තීරණය කළ නඩු තීන්දුව තුළ පහත ප්‍රකාශකයත් අඩංගු වෙනවා.
” In my view, such recognition could extend to a chef too,like in the instant case and his creations and copyright safeguarded for generations,regardless of him being able to read or write, educated or not so educated, a cook rising up from humble beginnings or a chef who has made an indelible mark in the culinary field here and overseas”
මෙහි සරල අදහස වෙන්නේ කිසිම දෙයක් නැති තැනකින් තමන්ගේ ගමන ආරම්භ කරලා සූපශ්‍රාස්ත්‍ර ක්ශේත්‍රයේ නොමැකෙන ලකුණක් තබන්නට සමත්වුණ සූපවේදියකුට හෝ අරක්කැමියකුට ලිවීමට කියවීමට නොහැකි වුවත්, උගත් වුවත් එතරම් උගත් නොවුණත් ඔවුන්ගේ නිරිමාණයන්ට ආරක්ශාවක් ලැබිය යුතු බවයි.
-පමුදි අනුත්තරා වීරසූරිය-