gossip lanka

වසර 30කට පසුවත් ගණන් නොගිය ඉස්සා

අපනයනය සඳහා වගා කරන ලද ඉස්සන් ටොන් දෙදහසක් විකුණා ගත නොහැකි වී ඇති බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය බහුල වශයෙන් සිදුකරන පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනියේ සිට මදුරන්කුලිය දක්වා ඇති ප්‍රදේශවල පිහිටි ඉස්සන් පොකුණු දහසකට ආසන්න ප්‍රමාණයක නිෂ්පාදනය වූ
ඉස්සන් මෙලෙස විකුණා ගත නොහැකිව තිබේ.

මේ හේතුවෙන් අපනයනය සඳහා ඉස්සන් වගා කිරීමේ නිරත වූ ගොවිනට ගැටළු රැසකට මුහුණ දීමටද සිදුව ඇත.

ඉන් ප්‍රධාන වන්නේ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් අද වන විට උදා වී තිබීමයි.

ඉස්සන් කිලෝවක මිල රුපියල් දෙසිය පනහකින් පමණ පහල බැස තිබීම මේ තත්ත්වයට හේතු වී ඇති බව මේ පිළිබඳ කල විමසීමේදී  ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ විධායක කමිටු සාමාජික නිමල් පතිරණ මහතා පැවසිය.

ඉස්සන් කර්මාන්තය ආරම්භ වී වසර තිහක් ගත වුවත් ඉස්සන් කිලෝවක මිල ඉහල නොයෑම මේ කර්මාන්තයේ පැහැදිලි කඩා වැටීමට හේතුව බව නිමල් පතිරණ මහතා වැඩිදුරටත් පැවසිය.

අපනයනය සඳහා ඉස්සන් මිලදී ගන්නා ආයතන ශ්‍රී ලංකාවේ ඉතා අල්ප ප්‍රමාණයක් පැවතීම හා රජය පුර්ණ වශයෙන් මේ සඳහා මැදිහත් නොවීම මේ මිල පහල යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ඉස්සන් වගාකරුවෙකු වන ජනක චන්ද්‍රසිරිමහතා පැවසිය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉස්සන් මිල පමණක් පහල ගිහින් අනෙක් සියලු දේ ඉහළ ගොස් ඇති බවයි.

‍විශේ‍ෂයෙන් ආහාර මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු මෙහිදීකියා සිටියේය.

රටට විදේශ විනිමය ලබා දෙන සුළු කර්මාන්ත කෙරෙහි රජයේ අවධානය අඩුවීම මෙලෙස තම නිෂ්පාදන මිල පහල බැසීමට
ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ අධ්‍යක්ෂක ඇම්.ඒ .තෝමස් මහතා පැවසිය.

මේ පිළබඳව සොයාබැලීම සඳහා  ධිවර දෙපාර්තුමේන්තු දත්ත පරික්ෂා කලත් එය අසාර්ථක විය.

පසුගිය මාර්තු මස ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය ප්‍රකාශ කලේ ඉස්සන් ටොන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් විකුණා ගත නොහැකි තත්වයක් උදා වී තිබු බවයි.

ඒ අවස්ථාවේදී ධිවර දෙපාර්තුමේන්තු දත්තවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ඉස්සන් නිෂ්පාදනය මෙට්රික් ටොන් 590 ක් වුවත් මේ වසරේ ජනවාරි මාසයේ එය මෙට්රික් ටොන් 230 දක්වා පහල බැස තිබිණි.

ඒ අනුව නිෂ්පාදනය වැඩිවීම මත මිල පහල ගොස් ඇති බව පිළිගැනීමට නොහැකි කරුණක් වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූ ප්‍රධානම කරුණ වුයේ ඉස්සන් අපනයනකරුවන් ඉතා සුළු ප්‍රමාණයක් වීම මත ඔවුන්
සැලසුම් සහගතව සිදුකරන ලද ක්‍රියාවලියක ප්‍රතිපලයක් මත ඉස්සන් ගැනුම් මිල පහල බැස ඇති බවයි.

gossip lanka