gossip lanka

රජයේ ආපන ශාලා බදු නොගෙවන තීරණයක

රජයේ ආපන ශාලා මගින්   ගෙවිය යුතු බදු මුදල් රජයට නොගෙවා සිටීමට සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඊයේ (05 දා) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ රජයේ ආයතන ටෙන්ඩර් මඟින් හෝටල් හිමියන් විසින් පවත්වාගෙන යන
බවත් ඔවුන් විශාල වශයෙන් දුක් මහන්සි වී රජයට ගෙවන බදු මුදල්  භාණ්ඩාගාරය හරහා මන්ත්‍රීවරුන්ට සැප විඳීම සඳහා ලබාදීමට නොහැකි බවත් බැඳුම්කර මගඩිය සමග තමන් මෙම තීන්දුවට  එළඹි බවත්ය.

එමෙන්ම බදු මුදල් එකතු කිරීම සඳහා නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන්ට පහර දී එළවා දැමීමට සංගමය තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට තවදුරටත් මුදල් හදල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන්නේ තම සාමාජිකයන්  මහන්සිවී  ගෙවන  මුදල් බවද ඔහු සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ සිටින සොරකම් කරන අයට රටේම ආශීර්වාදය හිමිවන බවත් කෙසේ වෙතත් රාජ්‍ය ආයතන වල ආපනශාලා පවත්වාගෙන යමින් ඔවුන් නඩත්තු කරන ආපනශාලා ව්‍යාපාරිකයන්ට  ලුණු පොත්තට  පවා දඩ ගසා අපහසුතාවයට පත් කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය.

එමෙන්ම දැනට වෙළඳපොලේ පවතින බත් ඔතන ලන්සීටි  කොළ  නිෂ්පාදනය කරනු ලබන්නේ බඩඉරිඟු වලින් සහ අර්තාපල් අල වලින් යනුවෙන් ජනතාව රවටා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. ඔහු අභියෝගයක් කරමින් කියා සිටියේ එවැනි   නිෂ්පාදනයක්  කර ඇත්නම් වහාම මාධ්‍යවේදීන්ගෙන්වා අර්තාපල් අල වලින් සහ බඩ ඉරිගු වලින් නිෂ්පාදනය කර ඇතැයි ව්‍යාජ ප්‍රචාරයක් ලබා ස්ථානය පෙන්වන්නැයි  සඳහන් කළේය.

එමෙන්ම ආපනශාලාවලට සහ රටපුරා කසල තේ පැකට් අලෙවි කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය රජයේ ආපනශාලාවල අයකරනු ලබන අතිවිශාල මුදල හේතුවෙන් රෝගීන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ට   පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදීමට හෝටල් කරුවන්ට සිදුව තිබෙන බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අසේල සම්පත් මහතා,

"සෑම රාජ්‍ය ආයතනයකම ආපනශාලාවල  ටෙන්ඩර් හිමියා බවට පත්වෙන්නේ ඇමතිවරයාගේ කීකරු ගෝලයෙක්. එහෙම නැත්නම් වෘත්තීය සමිති නායකයෙක්. ඒ අයගේ නම්වලට අරගෙන තමයි අපිට දෙන්නෙ. අපි ඒ අයටත් වෙනම මුදල් හොයන්න ඕන. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වෙනම ගානක් දෙන්න ඕන.   සේවාලාභීන්ට අඩු මුදලට ආහාර දෙන්න බෑ. සේවකයන්ට අඩු මුදලකට ආහාර දෙන්න ඕන.එතකොට අපි ජනතාවගෙන් මුදල් අල්ලලා තමයි දෙන්න වෙන්නේ".

 "රාජ්‍ය ආයතනවල, පාසල්වල මේ ආපනශාලාවලින් අඩු මුදලට ආහාරපාන රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න නම් අපි හොරකම් කරන්න ඕන. හොරකම් කරන්න බැරි නිසා තත්ත්වයෙන් බාල ආහාර තමයි දෙන්න සිද්ද  වෙන්නේ. එහෙම නැතුව කොහොමද දෙන්නේ . ඇයි මේවා හොයා බලන්න බැරි. අපි කියන්නේ අපේ රස්සාව කරගන්න යන්න ඕන නිසා මේ දේ කරන්න වෙනවා. මේ රටේ ආහාර සඳහා වැඩ පිළිවෙලක් නෑ මේවා කතා කරන්න ආහාරවලට ඇමතිවරයෙක් නෑ".

"අද දන්සලක් දාන්න ගියාම නීති පනවනවා හැබැයි ඕනෑ තැනක තියාගෙන  වඩේ එකක් වුණත් විකුණන්න පුලුවන් ආපන ශාලා  ප්‍රමිතියකට පවත්වාගෙන යන්න නම් ගුණාත්මක ආහාර ජනතාවට දෙන්න නම් ගුණාත්මක ආහාරයක් පාසල් සිසුන්ට දෙන්න නම් විශාල ටෙන්ඩර් මුදල් අඩු කරන්න ඕන. ටෙන්ඩර් මගඩිය වහාම නවත්තන්න ඕන. එක ආයතනයකින් ටෙන්ඩර් පත්‍ර ලබාදීම ටෙන්ඩර් සිදු කිරීම කළ යුතුයි. එහෙම නැති උනොත් හැමදාමත් පාසල් ළමුන්ට රාජ්‍ය සේවකයන්ට සුභසාධන ආපනශාලාවෙන් කන්න වෙන්නේ  ජරාවම  තමයි. මේ කියන්නේ ඇත්ත .මේවා සොයා බලන්න කියල අපි ඉල්ලන්නේ " යැයි පැවසීය.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු

gossip lanka