gossip lanka

ගම්පෙරළියට රුපියල් බිලියන 64 ක් !

මේ වසර සඳහා ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 64 ක් වෙන්කරලා තියෙන බවත් මෙතුළින් සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් මිලියන 200 ක් නිශ්චිත කාර්යයන් සඳහා ලබාදෙන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 22 වෙනි දින පැවති “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යසායක පාරාදීසය” එළිදැක්වීමේ උත්සවයේ දී ඇමතිවරයා එබව කියා සිටියේය.
අළුත් ව්‍යවසායකයන්ට ස්වශක්තියෙන් නැඟී සිටිමින් තමන්ගෙ ව්‍යාපාර ස්ථාවර තත්ත්වයකට ළඟා වෙනතෙක් සම්පූර්ණ අතහිත රජයෙන් ලබාදෙන බව එහිදී පැවසු අමාත්‍යවරයා, මෙතුළින් ලබාදෙන ණයවල පොළීයෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවන බවත්, මේ වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන පහකට වඩා වෙන්කර ඇති බවත් පැවසිය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අළුතින් බිහිකර ගැනීමත්, දැනටම ව්‍යවසායකයින්ව සිටින අය තවතවත් දිරිමත් කිරීමත් රජයේ අරමුණ බව මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිකර සිටියේය.

ශ්‍රී ලංකාව ව්‍යසායකයින්ගේ පාරාදීසයක් !

එහිදී ඔහු මෙසේද පැවසිය.

පසුගිය නොවැම්බර් මාසයේ 2018 වර්ෂය සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවේ දී මා කියා සිටියේ අපගේ පුරාණ මුතුන්මිත්තන්ගේ සහජ හැකියාවන් යළි පණගන්වමින් ශ්‍රී
ලංකාව ව්‍යසායකයින්ගේ පාරාදීසයක් බවට පත්කරන්නට අපගේ රජය කටයුතු කරන බවයි.

ඉන්දියානු සාගරයේ ඉතාම වැදගත් කේන්ද්රස්ථානයක පිහිටා තිබෙන අපේ රට ඈත ඉතිහාසයේ සිටම ලෝකයේ එකළ තිබූ ප්‍රබල ජාතීන් සමග උරෙන්උර ගැටී වාණිජ කටයුතුවල යෙදුණු බවට සාක්ෂි තියෙනවා.

අපේ මේ පුංචි මව්බිම  පුරාණ ලෝකයේ තිබූ රෝම, චීන අධිරාජ්‍ය ඇතුළු තවත් ඉතාමත් දියුණු රාජ්‍යයන් රාශියක් සමග ගනුදෙනු කළ බවට, වෙළඳාම් කළ බවට සාක්ෂි තියෙනවා.

අද දියුණු බොහෝ රටවල් එදා ගල්ගුහාවල ජීවත් වන යුගයක :

අද දියුණු පළවෙනි ලෝකයේ බොහෝ රටවල් එදා ගල්ගුහාවල ජීවත් වන යුගයක ශ්‍රී ලංකාවේ අපි රෝමයත් සමග, චීනයත් සමග, ඊජිප්තුවත් සමග තානාපතිවරු සහ වෙළඳ නියෝජිතයින් හුවමාරු කරගත් බවට ඉතිහාස පොත් පෙන්වා දෙනවා.

ගාල්ලේ තිබිලා 1409 කාලයේ කොටපු සෙල්ලිපියක චීන, පර්සියන්, දෙමළ භාෂාවලින් එකළ කළ වෙළඳාම් පිළිබඳ ලියැවිලා තියෙනවා. 

ඒ වගේම මන්නාරම ආශිතව අවුරුදු දහස් ගාණක් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් විදියට මාන්තොට වරාය පැවතුණු බවට ඓතිහාසික සාක්ෂි තියෙනවා.  විවිධ වර්ගයේ විදේශ කාසි, ඒ වගේම සෙල්ලිපි, මැටි භාණ්ඩ, වළලු වගේ දේවල් ඒ ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා.

මේ මාන්තොට වරායෙන් මගින් ලංකාවේ මුතු මැණික්, ඇත් දළ වගේ දේවල් විදේශවලට යවපු බවට සාක්ෂි තියෙනවා.  ඒ වගේම තෝනිගල සෙල් ලිපියේ කියැවෙනවා ක්‍රි.ව. 300 වගේ කාලෙදි මාන්තොට හිටපු වෙළඳ කණ්ඩායමක් බැංකු ණය පහසුකම් දුන්නා කියලා.

'අලුතින් ව්‍යවසායකයින් ලක්ෂයක්'

ඒ අනුව අපි අද රැස්වෙලා සිටින්නේ අපගේ ජානවලම තියෙන එවැනි සහජ හැකියාවන් යළි පණ පොවා ගනු පිණිස ඉදිරිපත් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමටයි.  එමගින් අපි බලාපොරොත්තු වෙන ඉදිරි ආර්ථික වර්ධන පිම්ම ලබාගැනීමට මේ රටේ තරුණ වැඩිහිටි සියලුම ව්‍යවසායකයින්ට විශාල පිටිවහලක් ලබාදෙන්න අපි කටයුතු කරනවා.

 රටේ ආර්ථිකය පොදු මහජනතාවගේ යහපැවැත්මට ඉවහල් වන විදියට වෙනස් කරගැනීම, ඒ වගේම ඔවුන් ආර්ථිකයේ කොටස් කාරයින් කරගන්න එක කාලීන අවශ්‍යතාවයක්.  මොකද මෙතුවක් කල් අපි පුරුදුවෙලා හිටියේ උඩින් ඉන්න සුළු පිරිසක් ගන්න තීන්දු තීරණ අනුව රටේ ආර්ථිකය හසුරුවන්න.

  අපි නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කර ගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයින්වයි.  ඒ අනුව අද දියත් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අළුතින් බිහිකර ගැනීමත්, දැනටම ව්‍යවසායකයින්ව සිටින අය තවතවත් දිරිමත් කිරීම අපේ අරමුණයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය අපි සැලසුම් කරලා තියෙන්නෙ අංශ ගණනාවක් ආවරණය වෙන විදියට.

ගොවි ජනතාවට, ඒ වගේම ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟළුම් නිෂ්පාදකයන්ට වගේම සංචාරක ක්ෂේත්‍රයේ යෙදිලා ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 750 ක් දක්වා ණය ලබාදෙන වැඩ සටහන් පහළොවකට වඩා මෙතුළින් ක්‍රියාත්මක වෙනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් ඉලක්ක කරගෙන :

විශේෂයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් විශ්ව විද්‍යාල වලට එසේත් නැත්නම් උසස් අධ්‍යාපනයට ඇතුළත් වීමට නොහැකි වීම නිසා විශාල වේදනාවකින් කම්පනයකින් ඉන්නවා.

සෑම වසරක දීම විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ විසිපන් දාහක් පමණ ප්‍රමාණයක් වුණත් තවත් ලක්ෂ ගාණක් විශ්ව විද්‍යාල වරම නොලැබී විවිධ දක්ෂතාවයන් හැකියාවන් ඇතත්, ඒ අයගේ ව්‍යවසායක සිහිනවලට අතහිත දීමට කවුරුත් නෑ.

 නමුත් මේ ව්‍යාපාරය හරහා අද ඔවුන්ගේ හැකියාවන් අනුවව්‍යවසායකයින් බවට පත්කිරීම සඳහා රජය ඉදිරිපත් වෙලා තියෙනවා.

''පොළීයෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවනවා: ඒ සඳහා බිලියන පහකට වඩා වෙන්කළා''

මෙතුළින් ලබාදෙන ණයවල පොළීයෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවනවා.  මේ අවුරුද්දේ විතරක් අපි ඒ වෙනුවෙන් රුපියල් බිලියන පහකට වඩා වෙන්කළා.

මොකද අළුත් ව්‍යවසායකයන්ට ස්වශක්තියෙන් නැඟී සිටිමින් තමන්ගෙ ව්‍යාපාර ස්ථාවර තත්ත්වයකට ළඟා වෙනකල් සම්පූර්ණ අතහිත රජයෙන් ලබාදෙනවා.

අපි සැමවිටම කාන්තාවන්ගේ උදව්වට කළේ මහන මැෂිමක් ලබාදීලා එහෙම නැත්නම් තාච්චියක් දීලා ස්වයං රැකියාවක් කරන්න කිව්වා.  නමුත් කාන්තාවන්ටත් පිරිමින් හා සමසමව ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළට යන්න ධෛර්යය හැකියාව තියෙන බව ලෝකය පුරා ඔප්පුවෙලා තියෙනවා.

ඕනෑම ව්‍යාපාරයකට  ඉදිරිපත් වෙන කාන්තාවන්ට රජය විසින් ලබාදන ණය සහනයට තවත් 10% ක් අපි එකතු කරනවා.

එපමණක් නෙමෙයි ව්‍යවසායකත්වයෙන් ආර්ථිකය ශක්තිමත් කරගන්න කැමති හමුදාවේ ආබාධිත අය ඇතුළු අනෙක් ආබාධිතව සිටින ජනතාවටත් මේ ණය ක්‍රමය යටතේ තවත් 10% ක වැඩි පොලී සහනයක් ලබාදෙනවා.

සෑම රාජ්‍ය බැංකුවකම එන්ටර්ප්‍රයිස් ශ්‍රී  ලංකා කවුන්ටරයක් :

මෙතෙක් කල් බොහෝ ව්‍යවසායකයින් බැංකුවට ගියාම කොයි තරම් හොඳ ව්‍යාපෘති වාර්තාවක් අතේ තිබුණත් ඔවුන්ට සුදුසු ඇපකාරයෝ නැත්නම් බොහෝ වෙලාවට ඒ අයට ණයක් ගන්න බැහැ.  ව්‍යාපෘති වාර්තාව බලන්නේවත් නැතුව ඒ අයව ආපහු හරවලා යවනවා.

ඒ කාලය දැන් අවසන් වෙනවා ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ලංකාවේ සෑම ශාඛාවකම නියෝජිතයෝ ගෙන්වලා ගිය සතියේ අරලියගහ මන්දිරයේ දී වැඩමුළුවක් තියලා අපි කිව්වා ජූලි මාසයේ පළවෙනි දා ඉඳලා සෑම බැංකුවකම එන්ටර්ප්‍රයිස් ශ්‍රී  ලංකා නමින් කවුන්ටරයක් තියන්න කියලා.

ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන හොඳින් දන්නා නියෝජිතයෙක් ණය ගන්න එන අය එක්ක සාකච්ඡා කරන්න පුහුණු කරන්නයි කියලා.

ගම්පෙරළිය : කඩිනම් ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළක්

මේ වැඩසටහනට සමගාමීව අපි ගම්පෙරළිය නමින් කඩිනම් ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා.
සාමය සඳහා වූ සංග්‍රාමයෙන් මුළු රටම ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්ත ත්‍රීවිධ හමුදාව සහ පොලීසියත් එකතු කරගෙන අපි මහා සංවර්ධන සංග්‍රාරාමයකට ලැහැස්තියි.  රට සංවර්ධනය කරන ජනතාව ජීවත් කරවන ජනතාව නැගී සිටුවන යුද්ධයකට අපි සූදානම්.

දැනටමත් ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති වැඩපිළිවෙළත් ඒ වගේම  අග්‍රාමාත්‍යතුමා විසින් රට පුරාම දියත් කර ඇති ග්‍රාමීය මාර්ග අඵත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළත්, ඒ වගේම නිවාස සංවර්ධන වැඩසටහනත් ඇතුළත් කරගෙන මේ සංවර්ධන සංග්‍රාමය අපි ඉදිරියට ගෙනියනවා.

වැව් 24,000 ක් ප්‍රතිසංස්කරණය කරනවා :

අපි මේ වසරට ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 64 ක් වෙන්කරලා තියෙනවා. මෙතුළින් සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් මිලියන 200 ක් නිශ්චිත කාර්යයන් සඳහා ලබාදෙනවා.
ඒ වගේම අංශ 12 ක් යටතේ ගම්වල සංවර්ධනය දියත් කරනවා.  මේ යටතේ වැව් 4000 ක් ඊළඟ වසර දෙකේ දී ප්‍රතිසංස්කරණය කරනවා.  ඒ වගේම සති පොළවල් නවීකරණය කරනවා.  හැමදෙනාටම අමතක වූ පුංචි ගම්වල තියෙන පන්සල්, පල්ලි, මුස්ලිම් දේවස්ථාන, කෝවිල් මේ යටතේ අළුත්වැඩියා කරනවා.

එපමණක් නෙමෙයි ගම්පෙරළිය හරහා සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකටම හරිත උද්‍යානයක් ලැබෙනවා.  Wi-Fi සහිත මේ උද්‍යානයේ පුස්තකාලයක්, තරුණ වැඩිහිටි සියල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් වගේම, ආගමික හා අධ්‍යාත්මික කටයුතු, යෝග, භාවනා වැනි දේ කරන්න පුළුවන් ස්ථානයක් මේ උද්යානය තුළ ඇති කරනවා.  ඒ එක්කම ව්‍යවසායක උපදේශන මධ්‍යස්ථානයකුත් ලබාදෙනවා.

එපමණක් නොව ගම්පෙරළිය වැඩසටහන අපි පසුගියදා මොණරාගල දී හඳුන්වා දුන්නා.  ඒ අනුව ගම්පෙරළියේ මූලික වැඩසටහනක් හැටියට ජූලි මාසේ පළවෙනිදා සිට මුළු මොණරාගල දිස්ත්රික්කයේම වැසිකිළි නොමැති පවුල් 25,000 කට වැසිකිළි පහසුකම් ලබාදෙනවා.

ඒ වගේම අගෝස්තු 16 වෙනිදා සිට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මහා ප්‍රදර්ශනය මොණරාගල දී පටන් අරන් ඊට පස්සේ අනුරාධපුරය දක්වාත් ඉදිරියේ දී එය ගෙනියනවා.

මේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළට නායකත්වය දෙන මඟ පෙන්වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මැතිතුමාටත් මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමන්න කැමතියි.

ගම දියුණු කරලා රට පෝසත් කරන මේ රටේ ජනතාව ජීවත් කරවන අද මේ ආරම්භ කරන සංවර්ධනසංග්‍රාමයට පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව ඔබ සැමගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මගේ කථාව අවසන් කරනවා.   ස්තූතියි!  ''
gossip lanka