gossip lanka

කතරගම කපුවාගේ අනියම් බිරිඳ සොයා මෙහෙයුමක්

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වූ අසේල ලක්‌මාල් බණ්‌ඩාර නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන දීපිකා නමැති කාන්තාව මේ වනවිට
කතරගම ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට පලා ගොස්‌ ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කර කිරිවෙහෙරේ මහාසේන දේවාලයේ අයිතිය ලබාගැනීම සඳහා ප්‍රධාන සැකකරු සැලසුම් සකස්‌ කර ඇත්තේ මෙම කාන්තාව සමඟ එක්‌ව බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා ඇතුළු පස්‌ දෙනකු පොලිසිය මඟින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම වෙඩිතැබීම සිදුකළ දහ අට හැවිරිදි වියේ පසුවන තරුණයෝ දෙදෙනා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙති. දේවාලයේ ප්‍රධාන කපුවා ලබාදුන් රුපියල් තිස්‌ ලක්‍ෂයක කොන්ත්‍රාත් මුදලකට අනුව වෙඩිතැබීම සිදු වී ඇති බව ද හෙළි වී තිබේ.

තංගල්ල නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යයි.





gossip lanka