gossip lanka

පාතාලයට පන්න පන්න පහර දෙන යතුරු පැදි බළකාය පාරට!

ප්‍රහාර එල්ල කර පලායන පාතාල අපරාධකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනූහය දෙනකුගෙන් සමන්විත යතුරුපැදි බළකාය ඊයේ (25 දා) සිට සිය මෙහෙයුම් ආරම්භ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන මෙම විශේෂ ඒකකයේ නිලධාරීන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල ක්‍රියාකාරිත්වයන් බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථානගතව සිට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්‍ෂ නිලධාරීන් 100 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට මාසයකට ආසන්න කාලයක් තිස්සේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ විශේෂ පුහුණුවක් ලබාදී තිබිණි.

එම පුහුණුව අවසන් කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 96 දෙනෙක් යතුරුපැදි 48ක් සමග ඊයේ සිට සිය මෙහෙයුම් ආරම්භ කළහ.

මෙම ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසිර යෑමේ උත්සවය ඊයේ පෙරවරුවේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ පැවැත්වූ අතර ඊට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා, පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතා ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මෙහිදී පාතාල අපරාධකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය විදහාපාන ප්‍රදර්ශනාත්මක පෙරහුරුවක් පැවැත්වීමටද මෙම ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

ප්‍රහාර එල්ල කර මෝටර් රථයකින් පලායන පාතාල අපරාධකරුවන් පිරිසක් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය ප්‍රදර්ශනය කෙරිණි.

මෙම ඒකකයේ නිලධාරීන් පොලිස්පතිවරයාගේ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරියාගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරණු ඇත.

මෙම අවස්ථාවට එක්වූ ඇමැති ටිරාන් අලස් මහතා කියා සිටියේ අපරාධකරුවන් මර්ධනය කිරීම සඳහා මෙම නිලධාරීන්ට ගිනි අවි ලබාදී ඇති බවත් නිවැරදි අවස්ථාවේ දී නිවැරදි දේ සඳහා එය පාවිච්චි කළ හැකි බවත්ය.

හරි දේට හා නිවැරදි ආකාරයට එම අවි පාවිච්චි කරන නිලධාරීන් වෙනුවෙන් සෑම අවස්ථාවකම තමන් පෙනී සිටින බවද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු සහ වාද්දුව – සුමිත් පොතුපිටිය
gossip lanka