gossip lanka

අරණායක ප්‍රදේශය යළි නාය යාදෝ'යි ජනතාව බියෙන්!

පවතින වැසි සහිත කාලගුණය සමග නාය යාමට ලක්ව තිබෙන අරණායක ප්‍රදේශය යළි අවදානම් සහිත විය හැකි යැයි එහි පදිංචිකරුවන් බිය පළ කරති.

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාමසර කන්ද, සිරිපුර ඇතුලු ප්‍රදේශ ගණනාවක් ඉකුත් වසරේ මැයි 17 වන දින නාය යාමට ලක්වූ අතර
මේ හේතුවෙන් පුද්ගලයන් 96 දෙනෙකු අතුරුදහන්වී ඇති අතර ගොඩගන්නා ලද මළ සිරුරු ප්‍රමාණය 31ක් විය. ආපදා තත්ත්වය හේතුවෙන් අරණායක පවුල් 1426ක පුද්ගලයන් 4291 දෙනෙකු අවතැන් විය.

ඔවුන් මේ වන විට යළි පදිංචි කොට ඇති අතර අධි අවදානම් කලාප වලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

පවතින වැසි සමග අවදානම් කලාප ලෙස නම් කර ඇති සුළං කපොල්ල, බැලුන්ගල, පුවක්වත්ත, සිරිපුර එළගිපිටිය, දෙබත්ගම, පල්ලේබාගේ, මෝරාගම්මන, උඩබාගේ හා ගංතුන උඩගම යන ගම්මානවල ජනතාව මේ වන විට ජීවත්වන්නේ මහත් බියකිනි.

නාය යාමට පත්වූ වකවානුවේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුලු ආයතන ගණනාවක් කළ පර්යේෂණවලදී යළි මෙම ප්‍රදේශය අවදානම් විය හැකි යැයි ජනතාව දැනුවත් කොට තිබේ.නාය යාමත් සමග සිය ගම්මානවල ලිංවල ජල ධාරිතාව අඩු වී ඇති බවත් ඇතැම් ළිං සම්පූර්ණයෙන්ම සිදි ගිය බව ද ගම්වාසීන් පවසයි.

පුවක්වත්ත නම් ප්‍රදේශයේ ජනතාව තේ වගාව බහුල වැවිලි භෝග වගාවෙන් ජීවත් වේ.අධි අවදානම් කලාපයෙන් ජනතාව ඉවත් කළ අවස්ථාවේදී සිය නිවෙස්වල සෙවිලි තහඩු, උළුවසු, දොර ජනෙල් ආදිය ඉවත් ගලවා රැගෙන ගිය පදිංචි කරුවන් ඉවත් බවක් නොමැතිව සිය ගෙවත්තේ වූ ගස් කපා රැගෙන යාමට ද කටයුතු කොට තිබේ.

මේ අතර නාය යාමෙන් පසුව අණනායක ප්‍රදේශයේ කොස් ගස් පමණක් 1500ක් පමණ කපා දැමීමට බලපත්‍ර ලබා ගෙන ඇති අතර ඊට සමගාමීව කපා ඇති වෙනත් ගස් ප්‍රමාණය ද අතිවිශාල වේ. අවදානම් තත්ත්වයක් පවතින ස්ථානයක මේ අයුරින් වන විනාශයක් සිදු කිරීම බරපතල තර්ජනයක් යැයි මාඔය කුඩාඔය සුරැකීමේ සංවිධානයේ ලේකම් චන්දන සෙනෙවිරත්න මහතා කීවේය.

අරණායක ප්‍රදේශය නාය යන තුරුම එය නාය යාමේ අවදානමක් ඇතැයි ගම්වාසීන් දැන සිටියේ නැහැ. නමුත් දැන් ප්‍රදේශය පවතින්නේ අස්ථාවර තත්ත්වයක. එවැනි අවස්ථාවක වන හානියක් සිදුකිරීම අප අනුමත කරන්නේ නැහැ. කොස් ගස් කැපීමට බලපත්‍ර දෙනවා පමණක් නොව ජංගම දැව ඉරුම් කට්ටල 30කට ආසන්න ප්‍රමාණක් මේ ප්‍රදේශයේ භාවිත කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. කදුකරයේ සිදුවන මේ වන හානිය නිසා අරණායකට පමණක් නොව එය ජල පෝෂක කලාපයක් බවට පත් කර ගත් මාඔයට ද තර්ජන මතුවෙනවා.

මේ හේතුවෙන් මා ඔයට ලැබෙන ජල ධාරිතාව අඩුවී මා ඔය ජල ධාරිතාව අඩුවිමේ ප්‍රවණතාවක් සිදුවිය හැකි යැයි මාඔය කුඩාඔය සුරැකීමේ සංවිධානයේ ලේකම් චන්දන සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

gossip lanka