gossip lanka

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු රැසක් රට හැරයති

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ අමාත්‍යාංශ ලේකම්කරුවන්, අතිරේක ලේකම්වරුන් සහකාර ලේකම්වරුන් සහ වෙනත් ඉහළ තනතුරු දරමින් විශ්‍රාම ලැබූ නිලධාරීන් නැවත රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කිරීම නිසා පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂ නිලධාරීන් රැකියා සඳහා විදේශගත වෙමින් සිටින බව වාර්තාවේ.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි
ගෝඨාභය ජයරත්න මහතා එම තනතුරින් විශ්‍රාම ලබා ගැනීමෙන් අනතුරුව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ටී.බී.එම්.කේ. තෙන්නකෝන් මහතා අදාළ තනතුරින් විශ්‍රාම ලබා ගැනීමෙන් පසු එම අමාත්‍යාංශය යටතේම පාලනය වන ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙසත් පත් කර ඇති අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජේ. දඩල්ලගේ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ  උපදේශකයෙකු ලෙස පත් කර ඇත.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ රැකියාවල නිරත වූ අතිරේක ලේකම්වරු සහකාර ලේකම්වරු විශ්‍රාම ලබා ගැනීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ දිවයින පුරා පිහිටි ව්‍යාපෘතිවල සහකාර අධ්‍යක්ෂවරුන් ලෙස හා උපදේශකවරුන් ලෙස පත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත බව අරමුදලේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට අමතරව ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දරමින් විශ්‍රාම ලබා ගත් නිලධාරි මට්ටමේ පිරිස් ද මේ වන විට රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පත් කර ඇත.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පත් කර ඇති නිලධාරීන් වයස අවුරුදු 70 ඉක්මවා ඇති පිරිස් බවත් එවැනි උපදේශකවරුන් බහුතරයක් සේවය කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බවත් වාර්තාවේ.

එවැනි විශ්‍රාම ලැබූ නිලධාරීන් වෙත විශ්‍රාම වැටුපට අමතරව අදාළ රාජ්‍ය ආයතනවලින් වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් යන වාහනයක් ඇතුළු විවිධ වරප්‍රසාද ලබා දෙන අතර එම නිලධාරින් විශ්‍රාම ගැනීමේ දී නිල රථ ලෙස භාවිත කළ වසර 5කට ආසන්න වාහන ක්ෂය වීමේ පදනම මත රැගෙන යාමට ද අවස්ථාව උදාකර ඇත.





gossip lanka