gossip lanka

දක්‍ෂතාවත් ආශීර්වාදයත් අවශ්‍ය බව චන්දිමාල් කියයි

සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට
ආශිර්වාද ලබාගත් මෑණියන් කෙනෙක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල්, “ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”.

ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී චන්දිමාල්ගෙන් විමසා සිටියේය.

“එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.

මෙම අශිර්වාද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ බවටද කරුණු වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය.

“එහෙම මාව යොමු කළේ නැහැ. ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යැයි පැවසීය.



gossip lanka