gossip lanka

ලාහෝර් යන්න කළින්ම ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලිය ත් පරදී

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්ථාය සමත් විය.

ඒ, අනුව එක් තරගයක් ඉතිරිව තිබියදි තරගාවලිය 2 ට 0 ලෙස ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම හැකිවිය.

අබුඩාබිහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.


පන්දුවාර විස්සයි 20 තරගයකදී සිය මංගල අර්ධ ශතකය රැස් කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.

සදීර සමරවික්‍රම ලකුණු 32 ක් හා දිල්ෂාන් මුණවිර 19 ලබා ගත්තේය.

ඔවුන් දෙදෙනාම දුවද්දි දැවි ගියේය.

ලකුණු 106කට කඩුලු 2ක් ලෙස තිබූ ශ්‍රී ලංකා ඉනිම යළිත් වරක් දියාරූ පිතිහරඹ රටාව හේතුවෙන් එකවරම කඩා වැටුණි.

ඒ, අනුව ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 8 ලකුණු 18ක් තුළ දැවී යාම විශේෂත්වයකි.

එම කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 7 සීමාවවත් පසු කිරීමට නොහැකි විය.

සීක්කුගේ ප්‍රසන්න 1
තිසර පෙරේරා 3
දසුන් ශානක 1
ඉසුරු උදාන 6
මහේල උඩවත්ත 0
සචිත් පතිරණ 1
අශාන් ප්‍රියන්ජන් 2*
විකුම් සංජය 4*

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෆාහිම් අශ්රාෆ් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

එය පකිස්ථාන පන්දු යවන්නෙකු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයක ලබාගත් කඩුලු ත්‍රිත්වය වීම ද විශේෂත්වයකි.

ඉසුරු උදාන, මහේල උඩවත්ත සහ දසුන් ශානක කඩුලු ත්‍රිත්වය ලෙස දැවී ගියේය

ෆාහිම් අශ්රාෆ් පන්දුවාර 3කදී ලකුණු 16 ට කඩුලු 3ක් බිඳ දැමුවේය.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5 කදි සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

කලකට පසු මෙම තරගය තුළදී දැඩි සටන්කාමී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකාව සෑම විටම පකිස්ථාන පිතිකරුවන් සිය පාලනයට ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අයුරු දැකගත හැකි විය.

ඒ අනුව තරගය පුරාවට ජය පරාජය දෙපිලටම දෝලනය වෙමින් පැවතියේය.

තියුණු සටනක් පැවති තරගයේ අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී පකිස්ථානය සිය ජයග්‍රාහී සීමාව පසු කිරීමට සමත් විය.

නායක ශෆ්රාස් අහමඩ් ලකුණු 28 ක් හා අහමඩි ෂේෂාඩ් ලකුණු 27ක් රැස් කළේය.

පන්දු යැවමේදි ශ්‍රි ලංකා පිල වෙනුවෙන් නායක තිසර පෙරේරා ලකුණු 24 ට කඩුලු 3 ක් බිඳ දැමීය.

දෙරට අතර අවසන් පන්දුවාර විස්සයි 20 තරගය පකිස්ථානයේ, ලාහෝර්හී ගඩාෆි ක්‍රිඩාංගණයේදී හෙට පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් පකිස්ථානයේ සංචාරය කරනු ලබන්නේ වසර 8කින් පසුව වීම ද විශේෂත්වයකි.

2009දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව වෙනත් රටක ජාතික කණ්ඩායමක් පකිස්ථානයේ සංචාරය කරන පළමු අවස්ථාවද මෙය වේ.
gossip lanka