gossip lanka

සේප්පුවක තිබුණු කෝටි 14 කොල්ල කෑ කෝටිපතියා රිමාන්ඩ්

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ මුල්‍ය සමාගමට අයත් සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි දාහතරක්‌ පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට කොළඹ පිහිටි අපරාධ පරික්‌ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (11 ) පස්‌වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර
නොච්චියාගම ප්‍රදේශයේ ව්‍යාපාර සමූහයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු මේ මස 15 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ රළපනාව නොච්චියාගම ලිපිනයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සමන් හේවා කණ්‌ඩම්බි නමැති අයයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ එම ඒකකය කියා සිටියේ මීට පෙර මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුන්වන සැකකරු ලබාදී තිබෙන ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බවත්, සැකකරු ඔහුට රුපියල් ලක්‌ෂ 16ක්‌ ලබාදී තිබෙන බවත්ය. මෙම සැකකරු මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග දුරකථන තුනකින් සබඳතා පවත්වා ඇති බවත් එම දුරකථනවලින් එකක්‌ අපරාධ පරික්‌ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබෙන බවත් අධිකරණයට දැන්වීය.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා අපරාධ පරික්‌ෂණ දෙපාර්තමේන්තුව තුන්වන සැකකරුගේ ප්‍රකාශ මත සැකකරු අත්අඩංගුවට ගත් බව කියමින් විටින්විට විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා බව පැවසීය. මෙම ව්‍යාපාරිකයා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු බවත් ඔහුට සොරකම් සදහා සම්බන්ධවීමට අවශ්‍ය නැති බවත් නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.

මෙහිදී සොරාගත් කෝටි 14 ක රන් ආභරණ අතරින් කිසිදු රන් ආභරණයක්‌ අපරාධ පරික්‌ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ සොයා ගැනීමට සමත්වී නැති බවත් දැනට අසනීප තත්ත්වයෙන් සිටින සැකකාර ව්‍යාපාරිකයා ඕනෑම ඇප කොන්දේසියක්‌ මත මුදාහරින ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් අයෑද සිටියහ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලු අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු මේ මස 15 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කළ අතර එදිනට සැකකරු ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. සැකකරුට ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර අධිකාරිය මගින් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.




gossip lanka