අලුත් සන්ධාන
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ ලොකුවට කතාබහ කෙරෙන්නේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන ගොඩනැගෙන අලුත් දේශපාලන සන්ධාන පිළිබඳවය. මෙහිදී විශාල වශයෙන්ම සමාජයේ කතාබහට ලක්වී අත්තේ සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව ගොඩනගන බව කී දේශපාලන සන්ධානය පිළිබඳවය. ඊළඟට සද්දෙට කතාව යන්නේ දිලිත් ජයවීරගේ මවුබිම ජනතා පක්ෂය සමග එකතු වන හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳවය. මේ ආකාරයට සජබයත්, එජාපයත්, දිලිත්ගේ මවුබිම ජනතා පක්ෂයත් මහා සද්දයක් දමාගෙන සන්ධාන ගැන කතා කළද කිසිම සද්ද බද්දයකින් තොරව මහ මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන පක්ෂද නැතුවා නොවේ. ඉන් ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන මාලිමාවය.
පසුගිය සතිය පුරාම මහ මැතිවරණය ඉලක්ක කරගෙන මාලිමාව ඇතුළේ විශේෂ සාකච්ඡා ගණනාවක්ම පැවැත්වී තිබිණ. ජවිපෙ එහි ප්‍රධාන පක්ෂය වුවද මේ වනවිට සියලු කණ්ඩායම් ඒකරාශි වී සිටින්නේ මාලිමාව නමැති නව පක්ෂය වටාය. මේ නිසාම යම් යම් ගැටුම්, ප්‍රශ්න තිබෙනවාද යන්න නොදන්නා නමුත් පසුගිය දින කීපය පුරා ජවිපෙ ප්‍රධාන නියෝජිතයන් රැසක් ප්‍රසිද්ධ දේශපාලන පිටියේ දැකගන්නට ලැබුණේ නැත. මේ වනවිට ජවිපෙට වඩා මාලිමාව බලවත් වී ඇති හෙයින් සහ මාලිමාවට වැඩි ඉල්ලුමක් තිබීම හේතුවෙන් බොහෝ සාකච්ඡාවලදී කියැවෙන්නේ මාලිමාවෙන් එන ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට සහ රට පිළිගත් වියතුන්ට මහමැතිවරණයේදී වැඩි අවස්ථාවක් ලබාදිය යුතු යැයි කියාය. නමුත් ජවිපෙද මේ වනවිට මාලිමාවට දැනුම් දී ඇත්තේ ප්‍රධාන පක්ෂය ජවිපෙ වන බැවින් සහ රට දන්නේ ජවිපෙ නියෝජිතයන් ගැන වන බැවින් ඔවුන්ට වැඩි කොටසක් මහ මැතිවරණයේදී ලැබිය යුතු බවකි. ඒ අනුව මේ වනවිට මාලිමාව ඇතුළේ සාකච්ඡා ‘කෝටාව‘ සම්බන්ධයෙන් යොමු වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට මාලිමාව මනාප සම්බන්ධයෙන් නම් තීන්දුවක් ගෙන අවසන්ය. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී මාලිමාව ඇතුළේ මනාප පොරයක් දැකගන්නට නොලැබෙන අතර, ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමට සූදානම් වන්නේ මාලිමාව ලකුණ ඉදිරියේ මනාපයක් සලකුණු කරන ලෙස පමණි. මාලිමාව එසේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණද මාලිමාවෙන් තරග කිරීමට සූදානමින් සිටින අපේක්ෂකයන් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලවල තමන්ගේ මුහුණ සහ සලකුණ ප්‍රදර්ශනය කරමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී මාලිමාව පැත්තෙන් ජවිපෙ සහ මාලිමාවේ නියෝජිතයන් අතර නාමයෝජනා 50ට 50 අනුපාතයට බෙදෙනු ඇති බවක් අනුමාන කළ හැක.
සද්ද නැත්තේ ඇයි?
මේ අතර, මේ වනවිට සමාජයේ ලොකු කුතුහලයක් මතුව ඇති අනෙක් කාරණාව වන්නේ වසර 50කට පමණ පසු ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ආණ්ඩු බලය ලබාගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ජවිපෙ ප්‍රධාන නියෝජිතයන්ට සිදුව අත්තේ කුමක්දැයි කියාය. ජනාධිපතිවරණ සමයේදී අනුරත් සමග ටිල්වින්, හඳුන්නෙත්ති, ලාල්කාන්ත, බිමල්, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ වැනි චරිත ප්‍රසිද්ධ වේදිකාවේ විශාල කාර්යභාරයක් සිදුකළද මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ විශාල කසුකුසුවක් සමාජය ඇතුළේ මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. නව ජනාධිපතිවරයෙක් පත්වීමෙන් පසු මාධ්‍ය බොහොමයක්ම එම ජනාධිපතිවරයාට පක්ෂපාතී අයුරින් සහ සමබර අයුරින් මාධ්‍යකරණය සිදුකිරීම නිසා බොහෝ මාධ්‍ය මේ තත්ත්වය පිළිබඳ කතා නොකළද මේ වනවිට අතිවිශාල ජයග්‍රහණයක් ලැබීමෙන් අනතුරුව එක්වරම වාගේ ජවිපෙ ප්‍රබලයන් නිහඬ වීම සම්බන්ධයෙන් කිසියම් කසුකුසුවක් සමාජය තුළ මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඇතැම් විට සම්පූර්ණයෙන්ම මහ මැතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කිරීම නිසා මේ ආකාරයට ජවිපෙ ප්‍රබලයන් දැකගන්නට නොලැබෙන බව කියවුණද පෙළක් පිරිස් මේ නිහඬ බව දැඩිව ප්‍රශ්න කරන ආකාරයක්ද දැකගැනීමට පුළුවන.
වාහන සංදර්ශන
අනෙක් අතට ජනාධිපතිවරණයෙන් අනතුරුව ජවිපෙ දේශපාලනය තුළ වඩාත්ම සක්‍රීය චරිතය බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව එහි දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහය. වසන්ත බරපතළ මාතෘකා ගණනාවක් පිළිබඳවම ජනාධිපතිවරණයෙන් අනතුරුව කතාබහට ලක්කළේය. ඉන් ප්‍රධාන එකක් වූයේ ගෝල්ෆේස් පිටියේ දමා ගියා යැයි කී සුඛෝපභෝගී වාහන පිළිබඳ මාතෘකාවය. අනෙක් මාතෘකාව වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඡන්ද කටේ මන්ත්‍රීවරුන්ට බෙදා දී තිබූ බාර් ලයිසන් පිළිබඳ මාතෘකාවය. මේ මාතෘකා දෙකම අතට ගෙන වසන්ත ජනාධිපතිවරණයෙන් පසු විශාල මාධ්‍ය ප්‍රචාරයක් සිදුකරගෙන ගියේය. වසන්ත එහිදී කියා සිටියේ මෙම සුපිරි වාහන ගෝල්ෆේස් පිටියේ දමාගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට සූදානම් බවත්ය. ඒ අතරවාරයේ ජනාධිපති පෞද්ගලික ලේකම් විජේපාල මහතා මෙලෙස ගෝල්ෆේස් පිටියේ ගාල්කර තිබූ වාහන පාවිච්චි කරන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍යයට ඉදිරිපත් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වාහන භාවිත කළ පුද්ගලයන් විසින් නියමිත පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇතැයි කියාය.
ඒ සමගම විපක්ෂයෙන්ද බරපතළ ප්‍රහාරයක් මෙම වාහන මුල්කරගෙන එල්ල වන ආකාරයක් දැකගත හැකි විය. විපක්ෂය කියා සිටියේ මේ ආකාරයටම චන්ද්‍රිකාගේ ආණ්ඩු සමයේදීත්, 2015 යහපාලන ආණ්ඩු සමයේදීත්, 2019 ගෝඨාභයගේ පාලන සමයේදීත් වාහන පෙන්වමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ බවකි. විශාල වාහන අවභාවිතාවක් සිදුව ඇති බව කී නමුත් ඒ කිසිවකුට දඬුවම් ලබා නොදුන් බවකි.
මේ ආකාරයට විපක්ෂයෙන් විවේචන එල්ල වීමත් සමග මාලිමාව පැත්තෙන් රැගෙන ගිය සුපිරි වාහන සංදර්ශනය කඩාවැටෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මෙම වාහන භාවිත කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් වූ අතර, එහි දැක්වුණේ මෙම වාහන අදාළ පුද්ගලයන් විසින් භාරදීමට කටයුතු කොට ඇතැයි කියාය. ඒත් සමගම අදාළ වාහන සියල්ල ඒවා භාවිත කළ මුල් ආයතනවලට බෙදාහැරීමට ආණ්ඩුව පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනය කිරීම නිසා දවස් කීපයක් පුරා එක දිගට ගෙනගිය සුපිරි වාහන සංදර්ශන නාට්‍යය අවසන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මාධ්‍යයට නිකුත් කෙරුණු මේ වාහන ලැයිස්තුව සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලුවක්ද මතුවී තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි නම් ලැයිස්තුවක් පිළිබඳ මාධ්‍යයට කරුණු නිකුත් කිරීමේදී එහි සඳහන් සියලු දෙනාගෙන්ම තොරතුරු විමසීම මාධ්‍ය මගින් සිදුකරන්නේ නැත. මාධ්‍ය කරන්නේ ඒ සියලු ලැයිස්තු සිය මාධ්‍යවල පළකිරීමය. ඒ ආකාරයටම අපද එම වාහන සම්බන්ධයෙන් අප වෙත ලැබී තිබූ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගත්තෙමු. එහිදී ඇතැමුන් අපට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ මෙම ලැයිස්තු නිවැරැදි නොවන බවකි. නමුත් අදාළ නම් ලැයිස්තු පළකිරීමේදී අප අතින්ද යම් අතපසුවීම් සිදුව ඇති බව අපිද පිළිගන්නෙමු. එසේ වූවා යැයි කියා මෙම සුපිරි වාහන භාවිත කිරීමේදී වංචාවන්, අවභාවිත කිරීම් සිදුව නැතැයි කියන්නට කිසිවකුටත් නොහැක. ඒ කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු අවසන් නිවේදනයත් සමග මෙම වාහන නාට්‍යය අවසන්ව ඇති අතර, මේ වනවිට ඒ පිළිබඳ කිසිවකුත් කතා නොකරන තරමටම එය අවලංගු මාතෘකාවක් වී ඇති බව පෙනෙන්නට තිබේ.
පාස්පෝට් නාටක
මේ අතර, පසුගිය සති දෙක තුන තුළ සමාජය ඇතුළේ සාකච්ඡා වූ අනෙක් ලොකුම මාතෘකාව වූයේ පාස්පෝට් සම්බන්ධ ගැටලුවය. බැලූ බැල්මටම මෙම පාස්පෝට් සම්බන්ධ ප්රශ්නයේදී විශාල වංචාවක් සිදුව ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. මෙහිදී ප්රශ්නය පැනනැගී තිබුණේ විද්‍යුත් ගමන් බලපත්‍රය හෙවත් ඊ-පාස්පෝර්ට් එක එක්තරා ආයතනයකට ලබාදීම සම්බන්ධයෙනි. එසේ දී තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ පවුලට අතිශය කිට්ටු සම්බන්ධයක් ඇති අයෙකුට අයත් සමාගමකටය. එය පසුගිය කාලසීමාවේදී හිටපු ජනාධිපතිවරයාට විශාල වශයෙන් උදව් උපකාර කළ සමාගමක් බව කියැවේ. එමෙන්ම 2001 ආණ්ඩුව පිහිටුවීමෙන් පසුත්, 2015 ආණ්ඩුව පිහිටුවීමෙන් පසුත් රනිල් මෙම සමාගමට බොහෝ උදව් උපකාර කර තිබූ බව ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් මෙම සමාගමට අදාළ ටෙන්ඩරය භාරදී තිබුණද එහි තිබූ දින වකවානුවලට අනුව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙම සමාගම විසින් සපුරා තිබුණේ නැත. එසේ වුවද ආණ්ඩුව මෙම ඊ-පාස්පෝර්ට් ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබාදීමට කටයුතු කළේ නැත. ඉන් අනතුරුව හෙළිවූ කාරණාව වූයේ ජනාධිපතිවරණය ආසන්නයේදී මේ සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය කොට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා මෙම ඊ-පාස්පෝර්ට් ලබාදීම කිසිදු ටෙන්ඩරයකින් තොරව අදාළ සමාගමටම ලබාදීමටය. ඒ අනුව ලක්ෂ හතහමාරක පාස්පෝර්ට් අදාළ සමාගමෙන් ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කොට තිබිණි.
නමුත් ගැටලුව පැනනැගුණේ මෙම ඊ-පාස්පෝර්ට් ව්‍යාපෘතියට එරෙහිව ‘එපික් ලංකා‘ නැමැති සමාගම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමගය. එහිදී පාස්පෝර්ට් ටෙන්ඩරය භාරගෙන තිබූ පැරැණි සමාගම අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ඊ-පාස්පෝර්ට් ව්‍යාපෘතිය අලුත් සමාගමකට ලබාදී ඇති බවකි. ඒ අනුව බැලූ බැල්මටම මෙය සාහසික මූල්‍ය අපරාධයක් ලෙස පෙනෙන්නට ඇති බව එහිදී වැඩිදුරටත් කියැවිණි. ඒ අනුව අභියාචනාධිකරණය අදාළ ඊ-පාස්පෝර්ට් ව්‍යාපෘතිය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
නමුත් පසුගිය සතියේ මෙම නඩුව නැවත වතාවක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, ඒ වනවිට විෂය භාර අමාත්‍යවරයා වන විජිත හේරත් නීතිපතිවරයා සමග මෙම ගැටලුවට විසඳුමක් සෙවීමට සාකච්ඡා පවත්වා තිබිණි. ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබී ඇත්තේ පාස්පෝර්ට් 132,000ක් පමණි. මේ වනවිට රටේ මතුව ඇති පාස්පෝර්ට් ඉල්ලීම හමුවේ එය දවස් කීපයකටවත් නොසෑහෙන ප්රමාණයකි. ඒ අනුව මෙම ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී අභියාචනාධිකරණයට දැනුම් දී සිටියේ මෙවැනි අර්බුදයක් මේ වනවිට මතුව ඇති නිසා ඊ-පාස්පෝර්ට් සම්බන්ධයෙන් දැනට පනවා ඇති අතුරු තහනම ඉවත් කරන ලෙසටත්, 750,000ක පාස්පෝර්ට් ප්‍රමාණය ගෙන්වා ගැනීමට ඉඩ ලබාදෙන ලෙසටත්ය.
කෙසේ වෙතත් ඒ වනවිටත් රජයේ පළමු කැබිනට් මාධ්‍ය හමුව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙමින් තිබූ අතර, එහිදි මාධ්‍යවේදීන් විජිත හේරත්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටීමට කටයුතු කළේය. එහිදී විජිතගේ ප්‍රතිචාරය වූයේ එදින දහවල වනවිට ඊට විසඳුමක් ලැබෙනු ඇතැයි කියාය. විජිත කිව්වා වාගේම දහවල වනවිට ලැබුණු තීන්දුවෙන් කියැවුණේ ඊ-පාස්පෝර්ට් සැපයීමට භාරදුන් සමාගමටම එම පාස්පෝර්ට් සැපයීම ලැබී ඇතැයි කියාය. ඒ අනුව අදාළ 750,000ක් වූ පාස්පෝර්ට් ප්‍රමාණය තාවකාලිකව හෝ ගෙන්වීමට ඔවුන්ට අවස්ථාව හිමිව තිබිණ.
පසුගිය සතියේ පෙන්වූ වාහන නාට්‍යය සේම මේ පාස්පෝර්ට් නාට්‍යයද තාවකාලිකව අවසන් වූයේ ඒ ආකාරයටය. කෙසේ වෙතත්, තවමත් අදාළ ව්‍යාපෘතිය මේ සමාගමටම භාරදෙනවාද, එසේත් නැත්නම් අලුතෙන් ටෙන්ඩර් කැඳවා නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් වෙනත් සමාගමකට භාරදෙනවාද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන ඇති ආකාරයක් දැකගන්නට නැත.
අල්ලස් ඉල්ලූ අය එළියට
මේ ආකාරයට පාස්පෝර්ට් ප්රශ්නය තාවකාලිකව අභියාචනාධිකරණය හරහා විසඳෙද්දී තවත් විශාල ආන්දෝලනාත්මක හෙළිදරව්වක් අනුරාධපුර අධිකරණයෙන් අසන්නට ලැබිණි. එහිදී අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විශාල හෙළිදරව්වක් කර තිබුණේ වෙන කවුරුවත් නොව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු ලෙස සැලකුණු විරංජිත් තාඹුගලය. එහිදී තාඹුගල විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු සහ දේශපාලනඥයන් කිහිප දෙනකුත්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කිහිප දෙනකුත් එක්ව තමන්ගෙන් කෝටි ගණන් කප්පම් ඉල්ලූ බවකි. පහත දැක්වෙන්නේ මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර තිබූ ආකාරයය.
මෙන්න රටම හෙල්ලෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අනුරාධපුර අධිකරණයේදී දිගහැරෙයි!
කෝටිපති ව්‍යාපාරිකයාගේ විමර්ශන නවත්වන්න රහස් පොලිස් නිලධාරීන්ට කෝටි ගණන් ගෙවලා!
කප්පම් ගෙවන්න කියා කියලා තියෙන්නේ හිටපු අධිකරණ ඇමැතිගේ පුතයි සජබ ආසන සංවිධායකවරයෙකුයි! පොලිසිවල කැමරා හයිකරන්න ප්‍රබල දේශපාලඥයෙක් අතටම සල්ලි ඉල්ලලා! ඩියෝ සාක්ෂිත් ඕඩියෝ සාක්ෂිත් තියෙනවා
තමා විදේශ රටවලින් නීත්‍යනුකූලව උපයාගත් මුදල් හා දේපලවලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලනඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.
සමහර දේශපාලඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරංජිත් තාඹුගල මහතා මේවා සිහියට නැගෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවත් පැවසීය.
පොලිසිය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා මට අයත් අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මගින් සවිකර දීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැයවන සියලු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමග අමනාප වූයේ යැයිද කීය.
නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරංජිත් තාඹුගල මහතා එසේ පැවසීය.
නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වාඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා මෙසේද පැවසීය.
ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව මට කිව්වා.
එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත් එයාලා මට කිව්වා. මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.
වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.
පසුව මා ඔවුන් සමග කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොළහ දක්වා අඩුකර ගත්තා. තවදුරටත් කතා කරලා කෝටි දොළහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කරගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණාටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවුරු කිරීමට අවශ්‍ය ඕඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්ෂි රැසක් මා ළඟ තියෙනවා.
විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ළඟ දැනට තියෙන මූල්‍යමය වත්කම්වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුළුවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රටවලින් නීත්‍යනුකූලව උපයාගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරටදී උපයාගත් මුදල් නෙමේ. ඒ සියල්ල විදේශ රටවලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රටවලින් මා නීත්‍යනුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.
මා සතුව ඇති නීත්‍යනුකූල මෙම වත්කම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිදු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශ සහගතව කරන කෙනෙහිළිකම්, බලපෑම් මෙන්ම හිරිහැර සිහියට නැගෙන විට සියදිවි නසාගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමැතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ පොලිස් ස්ථාන අලුත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වූ මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලුවා. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවිකර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකැමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියලු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.
එතැන් සිටි ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කළා. රහස් පොලිසියේ නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල්වලින් කොටසක් ඔවුන් ලබාගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි මා සතුව තිබෙනවා.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්සි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාම මහතාගේ සහාය මා ලබාගත්තා. එලෙස සහය ලබාගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළිගන්න උත්සාහ කරනවා.‘ යනුවෙන් එම පුවතේ සදහන්ව තිබිණ.
සජබ එජාප කපුකම
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජනාධිපතිවරණයෙන් පසු එජාපය සහ සජබය අතර ගිය සාකච්ඡා ගණනාවක තොරතුරු හෙළිකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී ජනාධිපතිවරණ පරාජයෙන් පසු හර්ෂ ද සිල්වාට සජබ නායකත්වය ලබාදෙන ලෙසට පක්ෂ මහලේකම්වරයාට දැනුම් දී තිබූ අයුරුත්, සජබය සහ එජාපය එක්කිරීමට කොළඹ එක්තරා පන්සලක පැවැති සාකච්ඡා පිළිබඳවත්, එජාපය සමග ඩීල් දැමූ සජබයේ කීප දෙනකු පිළිබඳවත් තොරතුරු අපි අනාවරණ කළෙමු. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අප විසින් අනාවරණ කළ එම කිසිදු කරුණක් ලංකාවේ වෙනත් කිසිදු පුවත්පතක හෝ දේශපාලන තීරුවක වාර්තා කර නොතිබීමය. විශේෂයෙන්ම කොළඹ එක්තරා පන්සලක පැවැති එම සාකච්ඡාව පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණේ අතලොස්සකට පමණක් වීම ඊට හේතුවය. අප මේ සම්බන්ධයෙන් කොපමණ අභ්‍යන්තර තොරතුරු වාර්තා කළාද කියනවා නම් එම සාකච්ඡාවලට සහභාගි වී සිටි අය මෙන්ම සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කරුණු පිළිබඳවද වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. මෙහිදී සාකච්ඡාවේ සිටි බොහෝ දෙනකු මතු කළ ප්‍රධාන කාරණාවක් වූයේ මේ පක්ෂ දෙක එක්වීමට නම් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට වූ කොන්දේසියය. එම මතය මෙවර කෙතරම් ප්‍රබල ලෙස මෙවර මතුවූවාද කියනවා නම් ඒ කැරැල්ල රනිල්ගේ ගේ ඇතුළටම ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. පසුගිය කාලය පුරාම රනිල් සමග ඉතා සමීපව දේශපාලනය කළ අකිල, රුවන්, නවීන් වැන්නවුන් පවා මෙවර සිටියේ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේය. යන්තම් හෝ රනිල් වෙනුවෙන් පෙනී සිටියේ සාගලත්, වජිරත්, මනුෂත් පමණි. ඒ නිසාම මේ අර්බුදය අස්සේ වජිර සහ මනුෂ ගාල්ලේ කුඩා බලමණ්ඩල කිහිපයක් කැඳවා රනිල් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව කියමින් යෝජනා සම්මත කිරීමට පියවර ගත්හ. ඒ හරහා වජිරලා බලාපොරොත්තු වූයේ රට පුරාම එජාප බලමණ්ඩල එම යෝජනාව සම්මත කරනු ඇතැයි කියාය. නමුත් ගාල්ලේ හැරුණු විට වෙනත් කිසිදු තැනක රනිල් ඉල්ලා එජාප බලමණ්ඩලවල යෝජනා සම්මත කිරීමක් දැකගන්නට ලැබුණේ නැත.
ඒ අනුව පසුගිය සතියේ එජාපයේ ඉතිරිව සිටින යම්කිසි හෝ ජනතා පිළිගැනීමක් ඇති අකිලත්, රුවනුත්, ගාමිණීගේ පුතා වන නවීන් දිසානායකත් වෙන් වෙන් වශයෙන් රනිල් හමුවීමට ගොස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට රනිල්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්හ. මේ තිදෙනා රනිල් හමුවීමට ගියේ දුරකතනය ඔස්සේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. මේ ආකාරයට රනිල්ට ඉවත් වන ලෙස පක්ෂය ඇතුළේ ප්‍රබල හඬක් මතුවෙද්දී රනිල් වෙනුවෙන් යන්තමින් හෝ කතා කළේ වජිරත්, සාගලත් පමණි.
රනිල් හර්ෂට කතාකරලා
ඒ අතරවාරයේ රනිල්ද නිකම් සිටියේ නැත. විටින් විට සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට කතාකොට විවිධ අදහස් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කොට තිබිණි. ඉන් එක් අයකු වූයේ වෙන කවුරුවත් නොව හර්ෂ ද සිල්වාය. නමුත් පසුගිය වතාවලදී මෙන් නොව මේ වතාවේදී රනිල් සමග ගනුදෙනු කිරීමේදී හර්ෂ වඩාත් පරිස්සම් වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මෙවර හර්ෂ රනිල් විසින් තමන්ට කී කතා අකුරක් නෑර පක්ෂයට දැනුම් දීමට කටයුතු කොට ඇතැයි කියාය. ඒ අතරවාරයේ ‘මව්රට’ පුවත්පත සම්බන්ධයෙන්ද හර්ෂ යම් යම් තැන්වලදී කී කතා පිළිබඳවද අපට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මෙවරද අප මව්රට ගැන එක්තරා තැනක සිදුවූ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය.
පසුගිය සතියේ අප කළ අනාවරණයකින් කියැවුණේ මේ පැත්තෙන් හර්ෂලා, ඉරාන්ලා ‘මව්රට’ට දොස් කියද්දී රනිල්ගේ පැත්තෙන් වජිරලා ‘මව්රට’ට දොස් කී බවකි. මේ ආකාරයට ‘මව්රට’ ගැන සජබය ඇතුළේත්, එජාපය ඇතුළේත් කතාබහට ලක්වූ ආකාරයටම මේ සතියේද එජාපය ඇතුළේ ‘මව්රට’ පිළිබඳ යම් කතාබහක් සිදුවිය. ඒ, රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. මෙහිදී වජිර ලොකු රහසක් රැගෙන ආ බව අඟවමින් රනිල්ට කියා සිටියේ සජබය ඇතුළේ ලොකු ගැටුමක් මතුව ඇතැයි කියාය. ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ බව හෙළිකොට ඇති බවත්, මව්රටෙන් හර්ෂට සහ ඉරාන්ට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත්, ඒ හේතුකොට ගෙන ඔවුන්ද සජබය ඇතුළේ කැරැල්ලක් ගැසීමට සූදානම් වන බවත් වජිර එහිදී රනිල්ට දැනුම් දී තිබිණි. ඒ අනුව තමන් ඒ සියලු දෙනාටම පෞද්ගලිකවම කතා කළ බවද වජිර රනිල්ට දැනුම් දී සිටියේය.
මෙහිදී මේ සියලු දෙනාටම කිව යුතු විශේෂ කාරණාවක් තිබේ. අප මෙහිදී කරන්නේ ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන සිදුවීම් ඒ ආකාරයෙන්ම වාර්තා කිරීම සහ එම සිදුවීම් විග්රහ කිරීම පමණි. එය අපගේ මාධ්‍ය කාර්යභාරයය. අප ඉටුකරන්නේ ඒ වගකීමය. ඒ අනුව අප කරන අනාවරණයන් මුල්කරගෙන ඕනෑ කෙනෙක් ඕනෑම කැරැල්ලක් ගසාගත්තාට අපට කම් නැත. එමෙන්ම අපගේ මාධ්‍යකරණය සම්බන්ධයෙන්ද මෙහිදී යමක් කිව යුතුව ඇත. අපගේ ප්‍රතිපත්තිවලට අනුව අපද යම් යම් පක්ෂවලට හෝ යම් යම් පුද්ගලයන්ට සහාය ලබාදෙමින් මාධ්‍යකරණයේ නිරත වන්නෙමු. එය සජබයට මෙන්ම මාලිමාවටද පොදුය. අප පමණක් නොව, අනෙක් සියලු රටවල මාධ්‍ය පවා ප්‍රසිද්ධියේම මැතිවරණ සමයේදී තමන් විසින් සහාය දක්වන පක්ෂය හෝ පුද්ගලයා හෝ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කරනු ලබයි. එය ඔවුන්ගේ කතුවැකිය හරහාම සිදු කරනු ලබන්නකි. යම් යම් පක්ෂවල සිටින ටයි කෝට්, සුදු සරම් අඳින පුද්ගලයන් එය නොදන්නවා වුණාට අපට කරන්නට දෙයක් නැත. ඉන්දියාවේ තත්ත්වය ගත්තද, ඇමෙරිකාවේ තත්ත්වය ගත්තද ප්රජාතන්ත්රවාදයට ගරු කරන වෙනත් ඕනෑම රටක් ගත්තද එය පොදු තත්ත්වයකි. එම නිසා අප වාර්තා කරන කරුණු මුල් කරගෙන දේශපාලන පක්ෂ ඇතුළේ අප සම්බන්ධයෙන් සාකච්ඡා වීමම යනු අප ලැබූ විශාල ජයග්‍රහණයකි. ඒ ගැන අපට නිහතමානී සතුටක් තිබේ. අප පළකරන තොරතුරු හරහා ඕනෑම අයකුට නායකයන් මාරු කරගන්නවා සේම වෙනත් ඕනෑම දෙයක් කරගැනීමට හැකියාව ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එය අපට අදාළ නැත.
පැරදිලත් ඉන්න රහස
කෙසේ වෙතත් ජනාධිපතිවරණ පරාජයත් සමග සුපුරුදු පරිදි තමන්ගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් මතුවීමේ ඉඩක් ඇති බව රනිල් මුල සිටම දැන සිටියේය. එමෙන්ම වසර 30ක් පුරා මැතිවරණ 50කට අධික ප්‍රමාණයක් පරාජයට පත්වීමෙන් පසුවත් විවිධ උප්පරවැට්ටි හරහා නායකත්වයේ රැඳී සිටීම යනු රනිල්ට අලුත් දෙයක් නොවේ. ඒ තරමටම මැතිවරණ පරාජය කියන කරුණත්, නායකත්වය ආරක්ෂා කරගැනීම කියන කරුණත් රනිල්ට දැන් හොඳටම පත්තියන් වී තිබේ. ඒ අනුව පසුගිය සතියේ රනිල් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතට කැඳවූයේ යළිත් වතාවක් නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවනු ඇති බව හොඳාකාරවම දැනගෙනය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල්ගේ සමීපතමයන් ලෙස සැලකෙන ආශු මාරසිංහ, අකිල, නවීන් දිසානායක ඇතුළු විශාල පිරිසක් රනිල්ට නායකත්වයෙන් ඉවත් වන ලෙස කෙළින්ම දැනුම් දීමය. අනෙක් පැත්තෙන් රැස්ව සිටි පිරිසගෙන් විශාල ඝෝෂාවක් ආවේ ‘තවත් යූ.ඇන්.පී. එක විනාශ කරන්න එපා. මේපාරවත් අලියගෙන් ඉල්ලමු’ යනුවෙන් කියමින්ය. මෙහිදී රනිල් වෙනුවෙන් අදහස් දැක්වීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් රනිල් මෙහිදී පිරිසට විශාල දේශපාලන චිත්‍රයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අලියාගෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, සියලු දෙනාම එකතු කරගෙන පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්ය. එමෙන්ම තමන්ට පේන විදියට අනුර අවුරුදු 5ක් බලයේ සිටිනු ඇති බවත්, එම වසර 5 ගතවීමෙන් පසු ආණ්ඩු බලය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී රනිල් කියා සිටියේය.
අනුරට කතාව ලීක් වෙලා
රනිල් මේ ආකාරයට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුර අවුරුදු 5ක් ආණ්ඩු කරනු ඇති බවට කළ කතාව පසුපස තවත් සැඟවුණු කතාවක්ද තිබේ. ඒ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු තමන් මුණගැසීමට පැමිණි සියලු දෙනාටම රනිල් පෞද්ගලිකවම කී කතාවකි. එහිදී රනිල් ඔවුන්ට කියා තිබුණේ ලබන මාර්තු මාසය වනවිට ආණ්ඩුව රැගෙන යෑම අනුරට ඉතා අපහසු වනු ඇති බවත්, බරපතළ අර්බුද රැසකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. එවිට සියලු දෙනාටම තමන්ව අවශ්‍ය වනු ඇති බවද එහිදී රනිල් පැමිණ සිටි පිරිසට සඳහන් කොට තිබිණි. නමුත් වැඩේ කියන්නේ රනිල් අතිශය පෞද්ගලිකව තමන්ට හිතවත් කිහිප දෙනකුට පමණක් කී මේ කතාව අනුරටද ආරංචි වී තිබීමය. තමන් කී කතාව අනුරට ආරංචි වී ඇති බව පසුව රනිල්ටද දැනගන්නට ලැබී තිබිණි. රනිල් කී එම කතාව අනුරට ගියේ කෙසේද යන්න පිළිබඳ තොරතුරද ‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇත. කෙසේ වෙතත් තමන් කළ කතාව අනුරගේ පැත්තට වාර්තා වී ඇති බව දැනගත් වහා රනිල් බියට පත්විය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුර තවත් අවුරුදු 5ක් ආණ්ඩුව කරනු ඇති බවට රනිල් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ඒ ඇතිව තිබූ බිය නිසාය. කෙසේ වෙතත් රනිල් මේ කතාව කියද්දී රැස්ව සිටි පිරිස මුහුණට මුහුණ බලාගත්තේ තවත් අවුරුදු 5ක් යනවිට රනිල්ගේ වයස අවුරුදු 83ක් වී තිබීම නිසාය.
කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එතරම් සුහදශීලී අයුරින් නොපැවැත්වීම නිසා රනිල් රැස්වීම අවසන් කොට පිටතට පැමිණියේ දැඩි කෝපයෙන් යුක්තවය. සිය වාහනයට ගොඩවන විටත් රනිල්ගේ කෝපය පහව ගොස් නොතිබිණි. ඒ බව තහවුරු වූයේ, ‘මෙතන ඉන්න ඔක්කොමල්ලා කයිවාරු නම් ගහන්න එනවා. හැබැයි වැඩක් කරන්න එක්කෙනෙක්වත් නෑ.’ යනුවෙන් කියමින් රනිල් සිය රථයට ගොඩවීම නිසාය.
ඒ වනවිටත් සජබය පැත්තෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණේ එජාපය සමග සන්ධානගත වීමේ සාකච්ඡා අවසන් බවත්, රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම ඊට හේතුව බවත්ය. එජාපයේ ඉදිරි පෙළ දෙතුන් දෙනකු හැරුණු විට බොහෝ පිරිසක් සජබය සමග එකතු වීමට මේ වනවිටත් එකඟතාව පළකොට ඇති බවද මද්දුමබණ්ඩාර තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ලොකු වෙනසක් නැත්තේ ඇයි?
නව ජනාධිපතිවරයා ලෙස අනුර වැඩ භාරගත්තද ගෙවුණු සති දෙක ඇතුළත ආර්ථිකය පැත්තෙන් බරපතළ වෙනස්කම් සිදුකිරීමට හෙතෙම කටයුතු කර තිබුණේ නැත. ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නොමැති වුවත් ඉන්ධන මිල අඩුකිරීම, පොහොර සහනාධාරය ලබාදීම වැනි ආර්ථිකයට බලපාන සුළු සුළු තීන්දු ගත්තද ඉන් එහාට යන බරපතළ තීන්දු තීරණ ගැනීමට අනුර කටයුතු නොකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වනවිටත් ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන ගිවිසුම හේතුකොට ගෙනය. එමෙන්ම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ඒ වනවිට ලංකාවට පැමිණ තිබීම හේතුකොට ගෙන ප්‍රශ්නසහගත කිසිදු වෙනසකට ගමන් නොකිරීමට මාලිමාව තීන්දු කොට තිබිණි. කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණිමටත් ප්‍රථම මාලිමාව ප්‍රකාශයට පත්කර තිබූ විශේෂ තීන්දුවක් වූයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කටයුතු නොකරන බවයි.
මීට අමතරව මාලිමාව මැතිවරණ වේදිකාවේදී කියා සිටි කරුණක් වූයේ ආදායම් බද්දට යටත් වැටුප් ප්‍රමාණය ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවකි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති වැට් බද්ද ඉවත් කරන බවය. මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමග පැවැති මූලික සාකච්ඡාවලදී ඔවුන් ආණ්ඩුවට දැනුම් දී සිටියේ ඒ හරහා අහිමි වන ආදායම සොයාගැනීමේ ක්‍රමවේදය පැහැදිලි කළ යුතු බවටය.
එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික සාකච්ඡාවලදී ආණ්ඩුව දැනුම් දී තිබුණේ ගුවන් සේවය විකුණනවා වෙනුවට එහි කළමනාකාරීත්වය වෙනත් පාර්ශ්වයකට භාරදීමට තමන් සූදානම් බවකි. නමුත් ඒ හරහා අහිමි වන මුදල සොයාගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳ තවමත් අපැහැදිලිය. ඊට අමතරව පාඩු ලබන ආයතන විකුණා දැමීමේ ප්‍රතිපත්තියේදී මාලිමාව සිටින්නේ අදාළ ආයතන තරගකාරී ලෙස ටෙන්ඩර් කැඳවා විවෘතව ඉහළම ඉල්ලුම්කරුට ඒවා ලබාදීමේ ප්රතිපත්තියකය. මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවේදී මාලිමාවේ ඉල්ලීම්වලට ඔවුන් එකඟතාව පළකළහොත් ඉන් අනතුරුව ජනතාවට ලබාදෙන සහන මල්ල ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පැවසේ. එසේ වුවහොත් මෙය ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට ලැබෙන අමතර වාසියකි.
අනුර යන්නේ කොහෙටද?
මීට අමතරව විදෙස් තානාපති කාර්යාලද මේ වනවිට ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය දෙස ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවක් දැකගන්නට තිබේ. තානාපති ක්ෂේත්රයේ යන කසුකුසුවලින් කියැවෙන්නේ ආණ්ඩුව චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇද්ද, ඉන්දීය හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇද්ද, එසේත් නැත්නම් ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇද්ද යන්න සම්බන්ධයෙන් සමීපව බලා සිටින බවකි. මේ අතර පසුගිය සතියේ ගිය දේශපාලන කසුකුසුවකින් කියැවුණේ ආණ්ඩුව දැනටමත් චීනයෙන් ඩොලර් බිලියන 2ක ණය පහසුකමක් ඉල්ලා ඇති බවකි. එහි සත්‍ය අසත්‍යතාව මේ වනතෙක් තහවුරු වී නැතත් ආණ්ඩුව මේ වනවිට චීනයෙන් තවත් විශාල උපකාරයක් බලා සිටින බවක් දැකනගන්නට ඇත. මේ විශේෂ උපකාරය පසුපස අපූරු කතාවක් තිබේ.
රහස් චීන ගමන
පසුගිය වසර දෙක තුළ අනුර විදෙස් සංචාර රැසක නිරත වුවත් කවුරුත් නොදත් ඉතා රහසිගත චීන සංචාරයක නිරත වීමට හෙතෙම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පියවර ගෙන තිබිණි. අනෙකුත් සංචාරවල ඡායාරූප මාධ්‍යවල පළවුවත් අනුරගේ මෙම චීන සංචාරයේ තොරතුරු කිසිවක් මාධ්‍යවල පළවූයේ නැත. මෙම ගමන සඳහා අවශ්‍ය පහසුකම සලසා තිබුණේ චීන මධ්‍යම රජයේ එක්තරා ප්‍රබල කාන්තාවකි. ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරකසභික සුන් හයියෑන්ය. එම සාකච්ඡාවේදී අනුර චීන බලධාරීන්ගෙන් විමසා සිටියේ සිය පක්ෂය ලංකාවේ බලය අත්පත් කරගතහොත් අර්බුදයකින් තොරව පාලනය ගෙනයෑම සඳහා චීනයෙන් ලබාදිය හැකි උපකාර මොනවාදැයි කියාය. මේ සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ හයියෑන් ඒ අවස්ථාවේදී පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයට පැමිණ අනුර සමග විශේෂ සාකච්ඡාවකද නිරත වූවාය. එමෙන්ම ඇය ඒ සංචාරයේදී එවක ජනාධිපති රනිල් හා විපක්ෂ නායක සජිත්ද හමුවීමට පියවර ගත්තාය.
කෙසේ වෙතත් අනුර සමග පැවැති සාකච්ඡාවේදී අනුර චීනයේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විශේෂ යෝජනා කිහිපයක් සහිත ලිපිගොනුවක් අනුර අතට පත්කිරීමට හයියෑන් කටයුතු කළාය. එහි තිබුණේ චීනයෙන් ජවිපෙ පාලනයකට ලබාදිය හැකි සහාය ඇතුළත් යෝජනාවලියකි. එහි ඉදිරියෙන්ම තිබුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ලොව වෙනත් කිසිදු රටකට කළ නොහැකි උපකාරයක් චීනයෙන් ලංකාවට කළ හැකි යැයි කියාය. එහිදී ඇය කියා තිබුණේ වසර 2ක් ඇතුළත චීනයෙන් කෝටියක සංචාරකයන් ලංකාවට එවීමට හැකි යැයි කියාය. මෙය එකවර කළ හැකි වුවත් ලංකාවේ පවතින යටිතල පහසුකම් ඊට ප්‍රමාණවත් නොවන හෙයින් ක්‍රමානුකූලව චීන සංචාරකයන් කෝටිය දක්වා වර්ධනය කළ හැකි බව ඇය එහිදී සඳහන් කර සිටියාය. අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මෙම තුරුම්පුවද හිතේ තබාගෙනය.
ඒ අනුව ජනාධිපතිවයා ලෙස අනුර දිවුරුම් දුන් වහාම චීන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුර කටයුතු කොට තිබිණි. එහිදී චීනය දැනුම් දී ඇත්තේ ලංකාවට ක්ෂණිකව දක්වන සහායක් ලෙස මෙම දෙසැම්බර් මාසයේ ආරම්භ වන සංචාරක සමයේදී ලක්ෂ 30ක චීන සංචාරකයන් පිරිසක් ලංකාවට එවීමට කටයුතු කරන බවකි. එමෙන්ම ලබන සංචාරක සමය ආරම්භ වන විට එය ලක්ෂ 60 දක්වා ඉහළ නැංවීමටද චීනය එකඟතාව පළකොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව චීනය ලබාදී ඇති මෙම තුරුම්පුව කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි ඉතා ප්‍රබල එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
මේ සම්බන්ධයෙන් ඉව වැටිලාදෝ බටහිර ඇතුළු අනෙක් රටවල්ද අනුරගේ මේ චීන හිතවත්කම පිළිබඳ සොයා බලන්නට පටන්ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අනුර චීනයත්, ඉන්දියාවත්, බටහිරත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යන සියල්ලම සමබර කරගෙන ඉතා සීරුමාරුවෙන් යුතු ගමනකට ආරම්භක පියවර තබා ඇති බවය. එය පැහැදිලිවම දැකගන්නට ඇත්තේ චීන විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙස බලන විටය. බොහෝ දෙනා කියන්නේ අනුරගේ පළමු සංචාරය ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සඳහා ජයශංකර් ලංකාවට පැමිණ ඇති බවකි. ඒ අනුව බොහෝ දුරට අනෙක් ජනාධිපතිවරුන් කළාක් මෙන්ම අනුරද සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
අලිරාජාගේ ජල්ලිය
මීට මාස 5කට පමණ ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ දෙමළ ඩයස්පෝරාවේ කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන අලිරාජා සුබාස්කරන් උතුරේ දේශපාලන පක්ෂයක් ආරම්භ කොට මැතිවරණයට තරග කිරීමේ සූදානමකින් සිටින බවකි. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම පක්ෂය ආරම්භ කිරීමට සුබාස්කරන් සැලසුම් කළද ඒ අවස්ථාවේදී ඔහුට එය අවසන් කරගැනීමට හැකියාව ලැබුණේ නැත. නමුත් මේ වනවිට අපට උතුරෙන් ලැබෙන ආරංචිවලින් කියවෙන්නේ මෙවර මහමැතිවරණයේදී උතුරේ දේශපාලන පක්ෂ සමග එක්ව සන්ධානයක් ගොඩනගා අලිරාජා දේශපාලනයට ප්රවිශ්ට වීමේ අරමුණෙන් පසුවන බවකි.
එහිදී අලිරාජා මුලින්ම තමිල් අරසු කච්චි නායක ශ්‍රීධරන් හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව අලිරාජා සුබාස්කරන්ගේ මූලිකත්වයෙන් යුත් මෙම සන්ධානය උතුරේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ අරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ ලකුණින් හෝ ආනන්දසංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (ඔඪණ) ලකුණ යටතේ ගොඩනැගීමට නියමිත බව සඳහන්ය. නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් අපේක්ෂා කරන බවටද මත පළ වෙමින් පවතී.
මීට අමතරව අලිරාජා මැතිවරණ කොමිසමෙන් ලකුණක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙ. මීට අමතරව හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් සහ ෑඡඍඛත් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් සමග අලිරාජා සුබාස්කරන් හමුවූ බවක්ද දැනගන්නට ඇත.
පසුගිය මැතිවරණවලදී ආසන රැසක් ලබාගෙන ඇති ෂඕණ ඉදිරි මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ඒවා රඳවා ගැනීම අරමුණු කර ගෙන ඇති අතර, ජනාධිපතිවරණයේදී පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කළ සාමාජිකයින් පිළිබඳව සොයා බැලීමට සහ තවත් තරුණ සාමාජිකයන් පිළිගැනීමට තීරණය කර ඇති බව පැවසේ.
කපිල පුංචිමාන්නගේ
මව්රට
රාජ්‍ය රහස්