මිතුරන්ට දුන් දුරකතන ඇමතුම් ඔස්සේ පොලිස් පරීක්‍ෂණ
මරණය ගැන සැකයි – ඥාතීහු කියති
අගෝස්තු මස 03 වෙනිදා කැනඩාවේ රැකියාවකට යෑම සඳහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20ක් රැගෙන ආ තරුණයකුගේ මළසිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදී පොලිසිය විසින් පෙරේදා (30 දා) සොයා ගෙන තිබේ.
මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නමැති මෙම තරුණයාගේ මරණය අභිරහසක් වී ඇති අතර ඔහු මියයෑමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැක කෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණවලදී සොයා ගැනීමට හැකි වී තිබේ.
වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරුපැදියක් හා සරමක්ද, පාවහන් යුගලක්ද තිබෙනු දැක ඇති අතර වැව අසල කවරෙකුවත් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය මත වැව නිරීක්ෂණය කිරීමේදී තරුණයාගේ මළසිරුර හමු වී තිබේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශකොට තිබේ.
බැංකුවෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 20ක මුදලද අතුරුදන් නිසා එම සැකය තවත් වැඩි බවද පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී පවසා ඇත. පසුව මහෙස්ත්‍රාත්වරයා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමුකොට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. පාණ්ඩියන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ