ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, ලොව පුරා මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, ගෝලීය සෞඛ්‍ය අවධානමක් ඇති කිරීමට ද සමත් වී ඇති බවත්ය.
ආසාදිතයන් 15,664 ක් මේ වනවිට අප්‍රිකා රටවලින් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.
‘එම් පොක්ස්’ වයිරසයේ නව භයානක ප්‍රභේදයක් අප්‍රිකා රටවල මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින අතර එම නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් ඉහළ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින්නේ කොංගෝ ජනරජයේ බව වාර්තා වේ.
වඳුරු උණ රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ පුද්ගල ප්‍රතිශක්තිය මත බවත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය මාරාන්තික වන බවත් වඳුරු උණ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතර බවත් මේ වනවිට තොරතුරු සොයාගෙන ඇත.
1958 දී මියගිය අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලින් වඳුරු උණ වයිරසය ප්‍රථමයෙන් හඳුනා ගැණුනු අතර වඳුරු උණ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ හේතුවෙනි.
නමුත් වඳුරන් පමණක් නොව, මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට බෝ විය හැකි අතර වඳුරු උණ වයිරසය පැපොල (චිකන් පොක්ස්) වයිරසයට සමාන රෝග ලක්ෂණ පෙන්වයි.
මේ වනවිට ස්වීඩනයෙන්, පාකිස්තානයෙන් සහ පිලපීනයෙන් වඳුරු උණ ආසාදිතයන් වාර්තා වී ඇති අතර පාකිස්තානයෙන් හමුවී ඇත්තේ වඳුරු උණ වයිරසයේ නව ප්‍රභේදය නොවන බව ද තහවුරු වී ඇත.