gossip lanka

"ප්‍රියංගනී ඉඳලා තියෙන්නේ නිදාගෙන... එතැන තිබුණු රයිස් කුකර් එකේ වයර් එක කපාගෙන ඇවිත් තමයි මේ අපරාධය කරලා තියෙන්නේ..." - බිරියට නඩත්තු ගෙවන්න බැරිව රිමාන්ඩ් ගත වූ බුද්ධිකට, ඇප දී බේරාගත් ප්‍රියංගනීට වුණු දේ!

මීට මාස කිහිපයකට පෙර නාල්ල පොලිස් නිලධාරීන්ගේ අවධානය මත ත්‍රිත්ව ඝාතනයක් සිදු කර පලායන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

රාත්‍රි ජංගම සංචාරයේ යෙදෙමින් පොලිස් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මෙම නිලධාරීන්ට අලුයම හතරට පමණ මහා මාර්ගයේ පාපැදියක් තල්ලු කරගෙන යන පුද්ගලයකු හමුවිය.

නිලධාරීන්ගේ උකුසු ඇස් ඔහු කරේ එල්ලාගෙන තිබූ බෑගයක් කෙරෙහි යොමුවිය. නිලධාරීන් එය පරීක්ෂා කිරීමට ගත් උත්සහයේදී එම පුද්ගලයා ඊට ඉඩ නොදුන් අතර නිලධාරීන්ගේ දැඩි ප්‍රයත්නය මත ගමන් බෑගය සෝදිසි කෙරිණි. රත්තරන් ඇතුළු මුදල් නෝට්ටු කිහිපයක් එහි විය.

ප්‍රශ්න කිරීමේදී ඔහු ඇදබෑවේ බොරු බේගල් රැසකි. පසුව ඔහු පොලිස් කූඩුවට දැමූ නිලධාරීන් රන් හා මුදල් තොගය සමඟ තිබූ කාඩ්පතක ලිපිනයක් සොයා අදාළ ප්‍රදේශයට ගියේය.

ලිපිනයට අනුව එම නිවෙස සොයාගත් නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී දුටුවේ නිවෙස තුළ පුද්ගලයන් තිදෙනකු මරා දමා ඇති බවය. ඝාතකයා පොලිස් උකුසු ඇසට එලෙස කොටු නොවූයේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම එතරම් පහසු වන්නේ නැත. නාල්ල පොලිසියේ නිලධාරීන් සිදුකළ එම සුවිශේෂී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රශංසාවද හිමිවිය.

මෙවන් සිදුවීමක් ඊයේ කොස්ගොඩ පොලිසියෙන් ද වාර්තා විය. පොලිස් කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා රාත්‍රි ජංගම සංචාරයේ නිරත වූහ. සැරයන් සුමනදාස කණ්ඩායමේ නායකයා විය. සැරයන් වනසේකරද ඔහු සමඟ රාජකාරියේ නිරත වූ අතර පොලිස් ත්‍රිරෝද රථය පැදවූයේ සැරයන් ජයසිංහය.

කොස්ගොඩ පොලිසියෙන් පිට වූ නිලධාරීහු ගාල්ල, අහුන්ගල්ල ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී නාපේ හන්දියට ළඟා වූහ. ඒ වන විට වේලාව රාත්‍රි අටට පමණ ඇත. පාරේ ඉදිරියට එමින් සිටි කෙසඟ සිරුරක් සහිත පුද්ගලයකු කෙරෙහි සැරයන් සුමනදාසට ඇති වූයේ බලවත් සැකයකි.

එම පුද්ගලයා අසලින් ත්‍රිරෝද රිය නතර කරන ලෙස සිය සගයා වූ ජයසිංහට කී සැරයන් සුමනදාස කොහෙද යන්නේ කියා එම පුද්ගලයාගෙන් විමසීය. එහෙත් ඔහු සැරයන්වරයාට පිළිතුරු නොදුන්නේය. සැරයන්වරයා ඔහුගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටියේය. එය ඔහු සතුව නොතිබිණි. ඒක නෙමේ උඹ කොහෙද මල්ලි යන්නේ ඔහු ඊටද නිරුත්තරය. එම පුද්ගලයා සැරයන්වරයා දෙස තීක්ෂණ දෙනෙතින් යුතුව බලා සිටියේය. මේ නිසා සැරයන්වරයා තුළ තිබූ වූ සැකය තවත් වැඩි විය.

“මොකක්ද බං ප්‍රශ්නේ” සිය කටහඬ අවදි කළේය. එවර එම පුද්ගලයා “සර් මම මිනිහෙක් මරලයි එන්නේ”. ඔහු හීන් සැරේ මිමිනුවේය. ඔහුගේ ප්‍රකාශය ඇසූ සැරයන් කලබල වූයේ නැත.

හරි හරි වරෙන් අපි ගිහින් කතා කරමු. එසේ ඔහුට කී සැරයන්වරයා ඔහුවද සිය ත්‍රිරෝද රථයේ නංවාගෙන කොස්ගොඩ පොලිසියට රැගෙන ආවේය. සැකකරු සමඟ පොලිසිය තුළ තිබූ බංකුවක වාඩි වූ සැරයන්වරයා සිය හසළ පළපුරුදු දැනුම භාවිත කරමින් කිසිදු කලබලයකින් තොරව ඔහුට සමීප වී ඔහුගේ ප්‍රශ්නය ගැන විමසුවේය.

“ඇත්ත කියපන්..මොකක්ද වුණේ”

“සර්…මම මගේ ගෑනිව මරලා එන ගමන් සර්…”


“කොහේද… උඹ ගෑනිව මැරුවේ..”

“බියගමදී සර්…”සැරයන්වරයා ඔහුගෙන් ටිකෙන් ටික කරුණු කාරණා විමසන්නට වූ අතර ඔහු සිද්ධිය එකක් නෑර සැරයන්වරයාට කීවේය.

 බුද්ධික ඇල්පිටිය පදිංචිකරුවෙකි. කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු තිස්තුන් හැවිරිදි විවාහකයෙකි. දෙදරු පියෙකි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ඔහු සිය බිරිය සමඟ ආරවුල් ඇති කරගෙන තිබිණි. පසුව ඇගෙන් වෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස බිරිය ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය.

කෙසේ වෙතත් කලක් යද්දී ඔහුට නඩත්තු ගෙවීමට නොහැකි විය. ඔහු අධිකරණයට ද ඉදිරිපත් නොවීය. අවසානයේ ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි. වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී මොහු පොලිසියට කොටු විය.

පසුව ඔහු පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට ඇප දීමට ඉදිරිපත් වූයේ ප්‍රියංගනී නමැත්තියකි. ඇය නවඳගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතර ඇය බුද්ධික දැන හඳුනන තැනැත්තියක් වූවාය.

කෙසේ වෙතත් ඇප මත නිදහස්ව පැමිණි බුද්ධිකට ප්‍රියංගනී කෙරෙහි ඇති වූයේ තදබල විශ්වාසයකි. එම විශ්වාසය පසුව ආදරයකට පෙරළිණි.

“ඉන් පස්සෙ මේ දෙන්නා බියගම පැත්තට ගිහින් ගාමන්ට් එකක වැඩ කරලා තියෙනවා. ඒ පැත්තෙම බෝඩිම් කාමරයක තමයි අඹුසැමියන් ලෙස ජීවත්වෙලා තියෙන්නේ. ඔය ගෑනු කෙනාත් කලින් කසාදයක් කරගෙන ඒකෙන් අයින් වෙලා ඉන්නේ.”

“ඔහොම අවුරුදු හතරක් විතර මේ දෙන්නා ගාමන්ට් එකේ වැඩ කර කර ඔය බෝඩිම් කාමරේ ජීවත්වෙලා තියෙද්දී ඔය ගෑනු කෙනා ගාමන්ට් එකේම තවත් තරුණයකු එක්ක සම්බන්ධයක් ඇති කරගෙන”සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ සැරයන්වරයා සිද්ධියට සම්බන්ධ තවත් තොරතුරු අනාවරණය කරගැනීමට සමත් විය.

ඇඟලුම් කම්හලේ තවත් පුද්ගලයකු සමඟ ප්‍රියංගනී අනියම් සබඳතාවක් ඇති කරගැනීම සම්බන්ධයෙන් තොරතුරු බුද්ධිකද දැනගෙන ඇත. පසුව ඔහු එය ඇත්තක්දැයි සොයා බලා තිබේ. එය ඇත්තක් බව ඔහුට වැටහුණේ ඉන් පසුවය. එතැන් පටන් බුද්ධික හැසිරුණේ උන්මත්තකයකු ලෙසය. ඔහු ප්‍රියංගනී හමුවේ බැගෑපත් විය. එම සබඳතාව නතර කරන ලෙස කිහිප වතාවක්ම ඉල්ලා සිටියේය. ඒත් ඇය ඔහුට කීවේ එවන් සබඳතාවක් නොමැති බවය. දෙදෙනා අතර ආරවුල් ඇති වූයේ එතැන් පටන්ය. ආරවුල් උග්‍ර විය.

ඒ ඉකුත් 28 වැනිදා රාත්‍රියයි. සේවය නිම කර පැමිණි දෙදෙනාම බෝඩිමට පැමිණියහ. ඒ සමඟ ඇති වූ ආරවුල මත බහින්බස් වීම උග්‍ර විය. කෙසේ වෙතත් කෝපයට පත් බුද්ධික බෝඩිමෙන් පිට වූයේ ඇයට පරුෂ වචනයෙන් ද බැන වදිමින්ය.

“මිනිහා බෝඩිම් කාමරෙන් එළියට ඇවිල්ලා තිබුණා. එහෙම ඉඳලා මිනිහා පාන්දර හතරට විතර බෝඩිම ඇතුළට ආයෙත් ගිහින් තිබුණා. ඒ වෙද්දී ප්‍රියංගනී ඉඳලා තියෙන්නේ නිදාගෙන. එතැන තිබුණු  රයිස් කුකර් එකේ තිබුණු වයර් එක කපාගෙන ඇවිත් මේ ගෑනු කෙනාගේ බෙල්ලට දාලා තද කරලා තියෙනවා. ඉන් පස්සේ මෙයා ‍ෙදාර වහලා තමයි බෝඩිමෙන් පිටවෙලා තියෙන්නේ”

28 වැනිදා ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු බසයක නැගී කොළඹ කොටුවට පැමිණ තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ 29 හා 30 යන දෙදින තුළ ඔහු මුහුදු වෙරළේ කාලය ගත කළ බවය.

යළි ඔහු බෝඩිම වෙත ගොස් ඇත්තේ පළමුවෙනිදාය. බෝඩිමේ ‍ෙදාර විවර කර බලද්දී එය තුළින් දුඟදක් හමාවිත් ඇත. ඇගේ සිරුරද තිබී ඇත්තේ ඉදිමී නරක් වීය. ඔහු යළි ‍ෙදාර වසා ගාල්ල බලා යන බසයක නැගී පැමිණ කොස්ගොඩ ප්‍රදේශයේදී බසයෙන් බැස ඇත.

“මම මුහුදේ පනින්න ගියා සර්. ඒත් බෑ හිතුණා. රේල්ලුවට පනින්න ගියා. ඒත් බය හිතුණා සර්…''සැරයන්වරයා ඔහුගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පැවැසුවේ ඇල්පිටිය නොගිහින් කොස්ගොඩින් බැස්සේ ගමේ කිසිවකු තමාට නැති නිසා බවය. “කොස්ගොඩට ඇවිල්ල ඉන්දැද්දි තමයි අපිට අහුවුණේ.” විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ බඩු බාහිරාදිය සෝදිසි කිරීමේදී ඔහු විසින් ප්‍රියංගනී ඝාතනය සම්බන්ධයෙන් ලියන ලද සටහනද තිබී පොලිස් නිලධාරීන්ට හමුවිය. එය නඩු භාණ්ඩයක් ලෙස භාර ගැනිණි.

සැකකරු සම්බන්ධයෙන් ගත යුතු පියවර සහකාර පොලිස් අධිකාරි ලාල් ගමගේ මහතා විසින් නිලධාරීන්ට පැහැදිලි කර දුන්නේය. ඒ අනුව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කීර්ති මෙන්ඩිස්
gossip lanka