gossip lanka

කෝටි හයක පඬුරු බෙදාගන්න කතරගම කපුවෝ ගහගනිති... දේවාලයට හමුදාව කැදවයි!

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ. තවද මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් අරාපක්ෂ නමැති කපුවා ඊයේ (01 වැනිදා) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත. පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරිවුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හට ගන්නා බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර පැවැසීය.

කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත. මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’ යැයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වැඩිදුරටත් පැවැසීය.

‘‘පවුල් තුනකට කෝටි ගණන් වටිනා රන්, රිදී, මුදල් පූජාවට්ටියේ තබා නොදී මෙම මුදල පිළිකා රෝහලට හෝ ඉගෙන ගන්නා දිළිඳු දරුවන් වෙනුවෙන් පූජාකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මෙම කපුවන්ගේ දූෂණයට එරෙහි රජයේ නිලධාරීහු පැවැසූහ.

‘පසුගිය වතාවේ කපු පවුල් කිරි වෙහෙරේ නායක හාමුදුරුවන්ටත් ගැහුවා. මේ පාර පෙරහර පටන් ගන්නත් කලින් කුලප්පු වෙලා ගහගන්නවා.’’ යැයි එම නිලධාරීහු පෙන්වා දුන්හ.

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර, ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම් පැවතුණ බව අනාවරණ වේ.

මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇත.

– අරුණ
gossip lanka