තවමත් කවුරු අතරත් කතාබහට ලක්වන 'ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම' අලලා සමාජ මාධ්‍ය පුරාම ලියවෙන සටහන් රැසකි.
ඒ අතර ඇස ගැටුණු කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් තබන ලද සටහනයි මේ...
''මුලින්ම හමුවුණේ කොහෙදිද කියල ටක්කෙටම මතක නැති වුණාට අන්තිමට හමුවුණේ මෑතක තිබිච්ච චන්දිගෙ රෝයල් බර්ත් ඩේ පාටියෙදි.
කලබල ගමනින් ගෝල්ෆේස් හෝටලේ ඇතුළෙ එහා මෙහා යනකොට මහත අතක් මගේ කෙට්ටු අත තාත්තෙක් වගේ අල්ලගත්තා.
මං ඔළුව උස්සල බලනකොට ඒ ගොරෝසු බැරැන්ඩි හඬ ශාලාවෙ ගිගුම් දුන්නා.
'කස්සා කොහොමද මල්ලේ ... ඇයි මල්ලෙ මට වෙඩින් එක නොකිව්වෙ'
මං ස්ටක් වුණා. විශාල මිතුරු මිතුරියො ප්‍රමාණයකට ආරාධනා කරනකොට කාර්‍ය බහුලත්වය නිසා ම අප අතින්, මැනේජර්ස්ලා අතින්, ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා අතින්, ඇඩ්මින්වරුන් අතින් එවන් අතපසු වීම් සිදුවීම මිනිස් ගතියකි. ඊට සමාව දීම දේව ගතියකි. ඉදින් අවාසනාවකට අපේ අමරණීය මඟුල් රාත්‍රියට වසන්ත අයියාට ආරාධනා පත්‍රය නොගොසින් තිබුණි. මම සුහද දෑසින් ඔහු දෙස බැලීමි.
' හරි හරි එව්ව වැඩක් නෑ. මොකා මොනවා කිව්වත් සතුටින් හිටපන් උඹලා දෙන්නා. අන්තිමට කස්සා ඉතුරු වෙන්නෙ උඹල දෙන්නට උඹල දෙන්න විතරයි මල්ලේ '
ඒ තමයි මනුස්සය මට කියපු අන්තිම දෙබස.
ඒක කොච්චර ඇත්තක් ද කියනව නම් වසන්ත අයියටත් අන්තිමට ඉතුරු වුණේ එයා ගාවම හිටපු මැණික් අක්කව විතරයි. දෙන්නා කිරිබත් කෑවෙත් එකටමයි. අන්තිමට වෙඩිකෑවෙත් එකටමයි.
මේක ලියනවද නැද්ද කියල මං දවස් ගාණක් කල්පනා කළා. මේ පින්තූරෙ දැක්ක මොහොතෙ ලියනවමයි කියල මගෙ ඇතුළෙ ඉන්න ලියන්නා එළියට කඩාපැන්නා. අනේක චෝදනා අනේක ගර්ජනා මැද පවා ඒ සියල්ලම පසෙකලා 'දුවෙකුට තමන්ගෙ තාත්තා තරම් වීරයෙක් මිහිපිට නැති බව' මට මතක් වුණා. ඒක වසන්තටත් පොදුයි. ප්‍රභාකරන්ටත් පොදුයි. කුඩාකල මියගිය දියණිය අද උන්නා නම් මහින්ද රාජපක්ෂටත් පොදුයි. ඔය අස්සෙ 'කුමාර හෙට්ටිආරච්චි' කියන කවියා ලියපු 'ධර්මද්වීපය' කියන කෙටි කවිය අකුණක් ගහන්නා වගේ මගේ ඔළුවට කෙටුවා. මේං ඒ කෙටි කවිය. කියවන්න ! හුස්මක් අරං හිතන්න.
ධර්මද්වීපය
ටාං
ටාං
ටාං
ඩෝං
ඩෝං
ඩෝං !
| සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල''