gossip lanka

පොසොන් පොහෝදා හොල්මන් මන්දිර තහනම්?

පොසොන් පොහෝ දා විකාරරූපී හොල්මන් මන්දිර ප්‍රදර්ශනය තහනම් කිරීමට කටයුතු කරන ලෙස අස්ගිරි විහාර පාර්ශ්වයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් හා පොලිස්පතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

නාහිමියන් ඉල්ලා සිටින්නේ, පොසොන් පොහොය මූලික කර ගනිමින් රටේ සමහර විහාරස්ථාන හා සංවිධාන කේන්ද්‍ර කරගෙන හොල්මන් මන්දිර වැනි විකාර සංදර්ශන පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇති අතර මෙවැනි ආකාරයේ විකාරරූපී දේවල් සිදු නොකරන ලෙසයි.

එමෙන්ම ඒ ඔස්සේ ළමා පරපුරට වැරදි පූර්වාදර්ශයක් සපයන බව නාහිමියන් පවසනවා.

මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පොසොන් පෝය යනු හොල්මන් මන්දිර පෙන්වන පෝයක් යන මතය දරුවන් තුළ හටගැනීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙ​න් මෙවර පොසොන් පෝයට හොල්මන් මන්දිර කඩිනමින් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

උන්වහන්සේ යවා ඇති ලිපියෙහි සඳහන් වන්නේ,

“පොසොන් පෝයදා සිදුවූ මහින්දාගමනය නිසා ලංකාවේ සමාජයීය, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යනාදී විවිධ අංශ කෙරෙහි බුදුසමයේ බලපෑම ලැබිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ එදා අපේ රටේ ජනතාවට ඉදිරිපත් කළ සමාජයීය, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ඉගැන්වීම් අපේ ජනතාවගේ ඇට, මස්, ලේ, නහර තුළ අදටත් කාවැදී තිබෙනවා. එදා පටන් අපේ රජවරු මෙන්ම ජනතාව ද බුදුදහම රැකගත්තේ දිවි දෙවැනි කොටයි.

මේ තරම් උතුම් දහමක්, දර්ශනයක් හඳුන්වා දුන් උතුම් වූ පොසොන් පෝය සැමරීමට, රටේ සමහර විහාරස්ථාන හා සංවිධාන කේන්ද්‍ර කරගෙන හොල්මන් මන්දිර වැනි විකාර සංදර්ශන පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. මෙවැනි හොල්මන් මන්දිර වැනි විකාර ක්‍රියාවන් මෙවන් උතුම් පෝයකට කිසිසේත්ම නොගැළපෙන්නකි.එය ළමා පරපුරට වැරදි පූර්වාදර්ශයක් දීමකි. පොසොන් පෝය යනු හොල්මන් මන්දිර පෙන්වන පෝයක් යන මතය දරුවන් තුළ හටගැනීමට ද ඉඩ තිබේ. මේ නිසා මෙවර පොසොන් පෝයට හොල්මන් මන්දිර කඩිනමින් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු”
gossip lanka