gossip lanka

"මීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ... නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් නිවස නොපෙනී ගියා" - අගලවත්තෙන් ඇසෙන සුනඛයෙකුගේ වීර ක්‍රියාවක්!

අයහපත් කාලගුණයත් සමග පවති  මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවී තිබෙනවා.

මෙසේ ජීවිත බේරී ඇත්තේ අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ පදිංචි බෙල්ලන විදානලාගේ සෝමසිරි නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු පවුලයි.

දැනට මේ දරු පවුල ඔවුන්ගේ ඥාති නිවසක රැඳී සිටින බව දැන ගැනීමෙන් පසු අප ඔවුන් සොයා අගලවත්තේ බෙල්ලනට ගියෙමු. එහිදී සෝමසිරි මහතාගේ පුත්‍රයා වූ බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (33) මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය,

''මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත් තාත්තා බී.වී සෝමසිරි සහ මගේ දිහැවිරිදි දියණිය සෙත්මි අකීෂා ඇතුළු පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා, මේ සිද්ධිය වුනේ අලුයම එකයි පහළොවට පමණ, මහා වැස්සක් සමඟයි, ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ දෙමව්පියන් හා මගේ කුඩා දියනිය සමග මා පමණයි බිරිඳ එදින ගෙදර සිටියේ නෑ ඇය ඇයගේ මහගෙදරට ගොස් තිබුණා.

අපි සියලු දෙනාම ඇහැරිලයි හිටියේ මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලුයම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කර කළු නම් සුනඛයා බුරබුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපසට වී බුරන කළු අසලට ගියා කළු මට යමක් කියන්නා සේ ගෙදර පිටුපස පන්ස්කන්ඩිය ළඟට ගියා මමත් කළු පිටුපස ගියා පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා.

මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක් ඇතුළත එළියට පැන දිව්වා, සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා අපටමීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා, මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නනම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා...''
gossip lanka