gossip lanka

සිවුරු කෑලි කාඩ්බෝඩ් ඇතුළට දමා අටපිරිකර හදන දැවැන්ත වංචාවක් හෙළි වෙයි

සිවුරු කෑලි, කාඩ් බෝඩ් කෑලි යොදා ව්‍යාජව අටපිරිකර සකස් කර රුපියල් 2000 ගානේ අලෙවි කිරීමේ ජාවාරමක් කතරගමින් අල්ලයි.

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් විසින් පෙරේදා (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පුදබිමේ සැදැහැවතෙකු විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට ලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වි තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පිංකමක් සඳහා අටපිරිකර 150ක ප්‍රමාණයක ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කෙරුණි.

මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගෙන්ද අප විමසීමක් කළ අතර එහිදී උන්වහන්සේ මෙලෙස පැවසීය.

අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්මවලට අයත් වෙන දෙවන පිංකම. ඇතැම් කූට ව්‍යාපාරිකයන් මුදල් ඉපයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑළි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරීම මහා අපරාධයක්. අට පිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අට පිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන මේ අටපිරිකරට මෙහෙ නිගා කිරීම දඬුවම් දිය යුතු බරපතළ වරදක්. මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද දවසේ මෙම වැටලීම සිදුකරලා තියෙනවා. සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව නිසි අවධානයෙන් පසු වෙන්න කියලා.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා, අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමග කතරගම පොලීසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ උපදෙස් පරිදි,මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්.බී. රත්නායක මහතාගේ නියෝග පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිළධාරීන් වන ආර්.එම්.එන්.එම්. ගුණරත්න, ඒ.සී.එම්. භාෂිත්, එම්.එෆ්.එම්. රේෂාන් යන නිළධාරීන් හා කතරගම පොලිසියේ නිළධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

gossip lanka