සමහර තැන්වලදි වෙනස් වෙන්නේ අපිට හමුවෙන හිතවත්කම් නිසා.
මේ කතාවත් ඒ විදිහේ ඇසුරක් නිසා ජීවිතය උඩුයටිකුරු කළ සිදුවීමක්.
ඇය රූමත් පාසල් ගුරුවරියකි. මා ඇය දැන හැඳින ගත්තේ විද්‍යාලයීය ක්‍රීඩා තරඟයකට සහභාගී වී සිටියදීය. ඇය එහි ප්‍රධාන පෙළේ භූමිකාවකට උර දී සිටියාය. මා ද ඒ සඳහා සහභාගීවීම නිසා අපි දෙදෙනා හුඟාක් මිත්‍ර වුණෙමු.
ක්‍රීඩා තරගය නිමවීමෙන් පසුවද අප දෙදෙනා අතර තිබු ඇසුර එලෙසම තිබිණි. ඉඳහිට ඇය මගේ ජංගම දුරකථනයට Miss Call එක්ක දුන්නාය. ඒ සැනින් මා ඇයට දෙන ඇමතුමත් සමඟ අප බොහෝ දේ කතා කළෙමු. නොදැනීම අපගේ කතා බහ පුංචි ආදරයකට පෙරළිණි
“මොකද කරන්නේ…. මට නම් කම්මැළියි. ඒකයි Miss Call එකක් ගත්තේ….”
“මටත් එහෙමයි…” “මටත් ඔයාව මතක් වෙනවා.”
“ඇත්තද කියන්නේ. ඇයි ඔයා මට ආදරේද…?”
“ඔව් සත්තකින්ම” “පොඩ්ඩක් හෙමින් කතා කරන්න. මෙයාට ඇහේවි.”
“ඒ කවුද?” “මගේ මහත්තයා…” ඇය විවාහක බිරියක බව මා දැනගත්තේ එවිටය.
ඒ වන විට ඇයට දරුවෝ සිටියේ නැත. ඇය විවාහක වුවද අපි දෙදෙනා අතර ඇතිවු ආදරය බොහෝ දුර ගියෙමු. මාද ඒ වන විට ප්‍රේමයෙන් පරාජිතව සිටි බැවින් ඇගේ අනියම් ඇසුර අත් නොහරින්නට බැරි තත්ත්වයකට පත්විණි.
ඒ නිසා අපි මහ රෑ වනතුරු නිතර දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. “මට මහත්තයා ගැන දුක හිතෙනවා අනේ”
“ඇයි ඒ..” “වෙලාවකට එයා පව් කියලත් හිතෙනවා. “
“ඇයි මම පව් කියල හිතෙන් නැද්ද?”
“ඔයත් පව්, එයාත් පව්” ඇය සිය සැමියා ගැන කිවේ එවන් කතාවකි.
ඒ අතරතුර ඇය මට ආරාධනාවක් ද කළාය. “ඔයා හෙට අපේ ගෙදර එනවද?”
“එතකොට මහත්තයා….”
“එයා හෙට ඈත ගමනක් යනවා.” ඇය මහ රෑ දුන් ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට තරම් මම බොළඳ නොවුයෙමි. එහෙත් සිත තුළ ඇති වුයේ බියකි. ඇය සිය සැමියාට හොරෙන් මා සමඟ කරන්නා වු ඇසුර ඇගේ සැමියාට අසුවුවහොත් වෙන දේ මා හොඳින් දන්නා නිසා මා සිත තුළ වුයේ තිගැස්මකි. ඈ කී පරිදි නියමිත වේලාවටම මම ඇගේ නිවෙසට ගොඩවැදුණෙමි.
ඇය මා ආදරෙන් පිළිගත්තාය. “එයා දැන්ම එන්නේ නෑ.” එසේ කියමින් ඇය මා ළඟින් අසුන් ගත්තාය. ඇය දවටා සිටි විලවුන් සුවඳ මා ගතත් සිතත් සලිත කරයි. ඇය ටිකෙන් ටික මට ළංවෙද්දී මම ටිකෙන් ටික පසුපසට ගියෙමි. ඒ වන විටත් මා සිත තුළ ඇත්තේ ඇගේ සැමියා ගැන තිබු බිය පමණි.
“මොකද්ද ළමයෝ….”
“අපි කරන්නේ වැරැද්දක් නේද?”
“ඉතින් මොකද…?මෙන්න මෙහේ එන්න” ඇය එසේ තුරුළු වෙද්දී මට ද නිකම් ඔහේ බලා සිටිය නොහැකි විය. අපේ අනියම් ඇසුර තවත් වර්ධනය වුයේ එලෙසින්ය. එදායින් පසුව ඇය මට කිහිප වතාවක්ම ගෙදරට ආරාධනා කළාය.
“අපිට දරුවෙක් නැහැනේ…. මහත්තයා හරිම ආසයි දරුවකුට” ඇය මේ කතාව කිහිප වතාවක්ම මට කීවාය. ඒ ගැන මට එතරම් වැටහීමක් නොතිබුණද ඇය දරුවකු ගැන දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටින බව මට වැටහිණි. කෙසේ වෙතත් වසරකටත් වැඩි කාලයක් අපි එලෙස හමුවුයෙමු. මහ රෑ වන තුරුත් දුරකථනයෙන් නොයෙකුත් දේ කතා කළෙමු.
“මම දැන් පිස්සු වැටිලයි ඉන්නේ”
“ඇයි ….ඒ?” මම ඇගෙන් ඇසුවෙමි.
“මට දැන් නිතරම ඔයාව මතක් වෙනවා. ඇත්තටම මෙයාව එපා වෙලයි ඉන්නේ”
“එහෙම කියලා බැහැනේ. ඒ ඔයාගේ මහත්තයානේ” දිනක් ඇය මට මිතුරියකගේ උපන්දින සාදයකට යන්නට ඇරයුම් කළාය.
“මම යන එක හරි නෑනේ.”
“ඒ මොකද ඔයා මාත් එක්කනේ යන්නේ”
“එතකොට මහත්තයා”
“එයා ඕවට යන්න කැමතිත් නැහැ. මම කිව්වා මම යාළුවෙක් එක්ක යනවයි කියලා.එයා කිව්වා හා කියලා. අපි යමු හොඳේ.” ඇගේ සැමියා උදාසීන මිනිහෙකි. ඔහු ඇය විවාහ කරගෙන ඇත්තේ මුදල් බලයෙනි. ඇය සැමියාට වඩා වයසින් වසර දහයක් බාල එකියකි. ඒ නිසා ඇයත් සැමියාත් අතර එතරම් ආදරයක් සෙනෙහසක් නැති බව මට හැඟිණි. ඒ බව මම තේරුම් ගෙන ද සිටියෙමි. ඇගේ ඉල්ලීම මත උපන් දින සාදයට ගිය මා ඇය විසින් ඇගේ මිතුරියන්ට හඳුන්වා දුන්නේ ඇගේ සැමියා ලෙසය.
ඉන් ද මමද අපහසුතාවයට පත්වුයෙමි. “දරුවෙක් හදාගන්න තවම අදහසක් නැද්ද?“ මිතුරියක් ඇගෙන් විමසද්දී ඇය මා දෙස බලමින් කීවේ අමුතු කතාවකි.
“මෙයා වගේම කොල්ලෙක්ට තමයි ආස” කාලය මෙසේ එළැඹ ගිය අතර ඇගේ අනියම් ඇසුර නිසා මගේ රැකියාවට ද නොයෙකුත් ප්‍රශ්න ඇති විණි. දින ගණන් මා නිවාඩු ලබා ගැනීම ඊට හේතුවිය. කොටින්ම කිව හොත් මම ඇගේ ආදරයෙන් පිස්සු වැටී සිටියෙමි. මට ද ඇය නැතිවම බැරි විය. ඇගේ සැමියාගේ නොයෙකුත් දුර්වලකම් හමුවේ මා සමඟ කිසිදු බියකින් සැකයකින් තොරව ඇසුරක් පවත්වාගෙන ගිය ඇය හිටිහැටියේ මා අමතක කරමින් දුරකථන ඇමතුමකටවත් කතා නොකරන්නට වීම නිසා පසුකළෙක මම දැඩි වේදනාවකට පත්වුයෙමි.
රැකියාවෙන්ද නොයෙකුත් ප්‍රශ්න ඇති වීම නිසා මා සිටියේ අසරණ තත්ත්වයෙනි. ඇය මා ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි දැන ගැනීමට මගේ සිත තුළ ඇති වුයේ කුතුහලයකි. පිස්සකු මෙන් ඇය ගැන නොයෙකුත් දෑ සිතමින් සිටි මම මේ බව අපගේ සම්බන්ධය හොඳින් දන්නා මගේ මිතුරෙකුට කීවෙමි.
“ඔහොම තමයි බං ගෑනු කියන ජාතිය. උඹ තවම උන්ව හඳුනන්නෙ නැහැ. ඔන්න ඕක අතෑරල දාලා රස්සාවට පලයන්. අන්තිමට උඹට රස්සාවත් නැතිවෙනවා.”
“ මට ඒකි නැතිව ඉන්න බෑ මචං” “හරි එහෙනම් උඹ ඒික කෙලින්ම ඒකිගෙන් අහපන්.” ඔහුගේ වචනය පිළිගත් මම දිනක් ඇය සොයා ඇගේ ගෙදරටම ගියෙමි. මා දුටු ඇය තිගැස්සුණු එකියක මෙන් හැසුරුණාය.
“මට පොඩ්ඩක් කතා කරන්න ඕන.”
“මට දැන් එහෙ මෙහෙ යන්න එන්න බැහැ. මට බබෙක් හම්බවෙන්නයි ඉන්නේ. ඔයා යන්න මහත්තයත් ඉන්නවා….” “බැහැ. මම යන්නේ නැහැ. ” “අනේ ප්ලීස් යන්න මට කරදර කරන්න එපා.” එසේ කී ඇය ඉදිරිපස දොර වසා දැමුවේ මා පළවා දමන අදහසිනි.
මම මෙතරම් ආදරය කළ ඇය…. මට මෙහෙම කරන්නෙ ඇයි දැයි මට පසුව වැටහිණි. ඇයට අවශ්‍ය වුයේ ආදරය සෙනෙහස නොව සිය සැමියාගේ ජීවිතයත් අනාගතයත් උදෙසා දරුවෙක් හදා ගැනීම පමණි. ඒ අදහස දැන් ඉටු වී තිබේ.
නිරන්තරයෙන්ම උදේ හවා ඇමතුම් දෙන ඇය ඉන්පසු මට කිසිදු ඇමතුමක් නොදුන්නාය. මා ඇයට දුරකථනයෙන් කතා කරන්නට උත්සාහ කළ ද ඇය එයද විසන්ධි කර තිබිණි. ඇගේ වෙනස් වු ආදරය දරාගත නොහැකි වූ මම ටිකෙන් ටික මත්පැනට ඇබ්බැහි වුයෙමි.
ඇත්තෙන්ම මම දැන් බේබද්දෙකි. ඒ ඇය නිසා බව මගේ සිත දනී. ඒ නිසා එදා සිට මම ඇයට වෛර කරන්නට පටන් ගත්තෙමි. ඒ ඇයට කිසිදෙයක් නැති නොවුණද. මට සියල්ල අහිමි වී ඇති නිසාවෙනි. මම ඇයට ඇත්තෙන්ම ආදරය කළෙමි. එහෙත් මේ කිසිවක් දැන් අවැසි නැත. ඇය මා දමා ගොසිනි. මගේ වේදනාව දන්නේ මා පමණි. මගේ සිතේ ඇය කෙරෙහි තිබු වෛරය තව තවත් උග්‍ර තත්ත්වයට පත් විය. ඇය මරා දමන්නට තරම් මා සිත නිතරම කියයි. එහෙත් මම ඒ සියල්ල ඉවසාගෙන සිටියෙමි.
එලෙස කාලය ගෙවීයද්දී වසරකට පසු මම ඇය දිටිමි. සිඟිත්තියක් ද දෝතින් ගෙන සැමියාට තුරුළු වී ත්‍රිරෝද රියකින් යන ඇය දෙස මම හොඳින් බලා සිටියෙමි. මට ඇය ගැන ඇතිවුයේ අනුකම්පාවකි. මා ජීවිතයෙන් පැරදුණද ඇය සිය ජීවිතය ජයගත් ගැහැනියක් බව මට තේරුම් ගියේ එදාය.
උපුටා ගැනීම – මාංචු පුවත්පත