''වෙඩි වරුසාවක් තිබ්බත් එක වෙඩිල්ලක් වැදුණේ නෑ…"
දිඹුලාගල හාමුදුරුවන් කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමිනමකි. 60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයාද, මුස්ලිම් පෙදෙස්වල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයාද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.
‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියෝ ඔවුන්ට ඉගෙනුමට පාසල් විවෘත කළහ. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළහ. එමතුදු නොව ඔවුහු බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්හ. ගොවි බිම් ඇති කළහ.
හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1995 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ උන්වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කෙරිණි.
ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන්ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද? උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සොයා උන්වහන්සේ පාද යාත්‍රාවෙන් වැඩි ගමන් අපේ මතකයේ තවමත් නින්නාද නඟයි. මහා කැලෑ මණ්ඩි පීරා සෝමාවතිය නැවත සොයාගැනීමේ ගමනටත්, නීලගිරි චෛත්‍යය සොයා යාමටත් කිතලගම නායක හාමුදුරුවෝ මහත් දායකත්වයක් දුන්හ.
දිඹුලාගල තැපැල්හල ඉදිරිපිට 1F නිවෙසේ පදිංචි වී.ඒ.පී. නාලකරත්න (ආනන්ද) මහතා පාසල් ගුරුවරයෙකි. දැනට වැලිකන්දේ මෛත්‍රීගම පාසලක ඉගැන්වීම් කටයුතු කරන හෙතෙම දිඹුලාගල නාහිමියන්ගේ 36 වැනි ගෝලයාය. උන්වහන්සේ ඇතිකළ වෙහෙර විහාර අසූ ගණනකි. ගෝලයන් වහන්සේලාගේ ප්‍රමාණය 1,440ක් ඉක්මවයි. නාලකරත්න මහතා ද ගෝලයෙක් බව මා කීවේ එතුමා මුල් කාලයේ දිඹුලාගල හිමියන් ළඟ පැවිදිව සිට දැන් උපැවිදිව සිටින්නකු බැවිනි. පැවිදි කල නාහිමියන්ගේ ආරක්ෂකයා ලෙස හිටියේ ද එතුමාය.
''අපේ නායක හාමුදුරුවෝ මෙහි වඩින්ට පෙර ඉඳලා තියෙන්නෙ පලුගස්දමනෙ කැරකෝප්පුවක. එතැන ඉඳන් උදේට මේ දිඹුලාගල කන්ද අගේට පේනවා. මුල් කාලෙ ඉඳලම උන්වහන්සේ හරිම ජවසම්පන්නයි. ගිහි කාලේ විශේෂයෙන් තරුණ කාලේ කළ කී වැඩ නිසා පොළොන්නරුවෙ මනම්පිටියෙත් ජනප්‍රියයි.
යකාටවත් බය නැති කෙනෙක්. මහණ වෙන්න ආසා වෙලා මහණකම ඉල්ලුවාම ඒ කාලෙ පොළොන්නරුවෙ හිටි හාමුදුරුවන් හා හොඳයි කිය කියා හිටිය මිසක් මහණකම දීලා නෑ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ තමන්ගේ ගම් පළාත මාතරට ගිහින් විල්පිට ආරණ්‍යයේ වැඩසිටි උඩුපීල්ලෙගොඩ පුඤ්ඤාලංකාර හිමියන් වෙතින් පැවිද්ද ලබාගෙන නැවත මෙහි වැඩලා තියෙනවා.
ඒ කාලෙ මේ දිඹුලාගල ඉඳලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වැරැදිවලට අල්ලන්ඩ බලාඉන්න වරෙන්තුකාරයො විතරයි. හාමුදුරුවො වඩින විට ගඟෙන් මෙගොඩ දෙමළ ගමක් තිබුණා සොරිවිල කියලා. අදත් ඒ ගම තියෙනවා. මනම්පිටිය පාලම ළඟ තමයි ඒ කාලෙ මඩකළපු මායිම සටහන් කරලා තියෙන්නෙ. හාමුදුරුවො මේ බෝඩ් එක ගලවාගෙන ගිහින් පුනානිවල ගැහුවා. එතැනින් මෙහාට පොළොන්නරු මායිම. එහාට මඩකළපු මායිම කියලා.
ඒ පැත්තෙ දෙමළ කට්ටිය හාමුදුරුවන්ට හොරෙන් මේ බෝඩ් එක ගලවාගෙන ඇවිත් යළිත් මනම්පිටිය පාලම ළඟ ගහනවා. මේ මායිම් ප්‍රශ්නය හේතුවෙන් අන්තිමට සේවාගම නමින් තිබුණු හමුදා ගම්මානයත් සටනට ඇවිත්. ඒ අය හාමුදුරුවන්ට පක්ෂයි. ඒ ගමේ හිටියෙ ලෝක යුද්ධ කාලෙත් බි්‍රතාන්‍ය රාජකීය හමුදාවෙ හිටපු සිංහල මිනිස්සු. මේ අය කොහොම හරි තමන්ගෙ නියම මායිම තියෙන පුනානිවලටම සීමාව නැවත ගෙනගියා.
හාමුදුරුවො දිඹුලාගලට වඩිනවාට මඩකළපුවෙන් මෙහි පැනලා හිටපු සිංහල වරෙන්තුකාරයො විරුද්ධ වුණා. ඒ අය මෙහෙට ඇවිත් තිබුණෙ දිඹුලාගල නිධන් වදුලු ටික හාරන්න. ඒකට උන්වන්සේ ඉඩ දුන්නෙ නෑ. එහෙත් සොරිවිල කියන ගමේ දෙමළ වැසියෝ හාමුදුරුවන්ව ආරක්ෂා කළා. හාමුදුරුවො අපවත් වෙනකම්ම ඒ ගමටත් ආදරය කළා. ඒ ගම්වැසියො ආරක්ෂා කළා. ඒ වන විට දිඹුලාගල කන්දෙ ගල්ගුහාවක් තිබුණා. ඒ ගල්ගුහාවෙ තමයි අද දිඹුලාගල බුදුමැඳුර පිහිටා තිබෙන්නෙ. මේ ගල්ගුහාවෙ තමන්ගෙ රැහේත් එක්ක ජීවත් වුණේ මිල්ලානා කියන වැදි නායකයා. පසු කාලයක එතුමාව යාපා රජ්ජුරුවො නමින් හැඳින්වෙනවා.
අපේ නායක හාමුදුරුවො උදේ රැයින් නැඟිටලා මනම්පිටියෙ පොළොන්නරුවෙ කඩසාප්පු නිවාස අතරට ගිහින් ලොකු පොට්ටනි දෙකකට හාල්, පොල්, තුනපහ, එළවළු ආදිය රැගෙන කඳු වළල්ල උඩින් දිඹුලාගලට වඩිනවා. එහෙම වැඩලා අර මිල්ලානා හා එයාගෙ වැදි රැහැට කියනවා මේකෙ දඩයම් කරන්ට එපා.මේ හාල් පොල් උයාගෙන කන්න කියලා. උයන්නත් පුරුදු කරවනවා. ඒ අය මස් පුලුස්සලා හාමුදුරුවන්ට දෙනකොට ‘අපි බුද්ධ පුත්‍රයො. මේවා කන්නෙ නෑ’ කියා අර හාල් පොල් එළවළුවලින් රසවත් ආහාර හදලා පෙන්නලා ඒ අය ශිෂ්ට මිනිස්සු බවට පත්කළා.
මේ දිඹුලාගල ගල වටේට හාමුදුරුවො කරවිල වගා කළා. කූරතම්පලා හා වෙනත් පලා වර්ග තිබුණා. කරවිල තම්බාගෙන කන්න අපේ ලොකු හාමුදුරුවෝ පුදුමාකාර කැමැත්තක් දැක්වූවෙ. පස්සෙ මේ වැදි රැහැට ගෙවල් පවා හදලා දුන්නා. ඉස්කෝල දැම්මා. අකුරු කියවන්න ගුරුවරු ගෙනාවා.පුදුමයි කියන්නෙ මිල්ලානා වැදි රජ්ජුරුවො මස්මාංශ අත්හැරියා. දඩයම් අත්හැරියා. බත් කන්න පුරුදු වුණා. පංච ශීලය රැක්කා. එයාගෙ මායියාත් රැහේ අනෙක් කට්ටියත් එහෙම වුණා. පස්සෙ අර ගෙවල්වලට ගිහින් දිඹුලාගල තිබුණු ගල්ගුහා පවා හාමුදුරුවන්ට දුන්නා. ගොවිබිම්, ජනපද පිහිටුවලා දායකයො ඇතිකරලා සුවිශාල සංවර්ධනයක් මේ පළාතට කරගෙන යනකොට එල්.ටී.ටී.ඊ.ය කලබල වුණා.
ආර්. ප්‍රේමදාස මහත්මයා හාමුදුරුවන්ට බොහොම ආදරය කළා. උන්වහන්සේත් එහෙමයි. දිඹුලාගල පූජා භූමියක් ලෙස ප්‍රකාශ කළේ ප්‍රේමදාස යුගයේදී. දෙමළ ජනතාවගේ මළගෙයක් වුණත් හාමුදුරුවො හාල් මිටියක් පොල් ටිකක් ඒ ගෙදරට යවනවාමයි. ඒ නිසා ඒ මිනිස්සුත් ලොකු හාමුදුරුවන්ට ආදරෙයි.
සිංහල ජනතාව මෙහි පදිංචි කරවලා ජනපද ඇති කරනකොට විතරක් නොවේ ත්‍රස්ත ප්‍රහාරවලින් අවට ගම්වල ජනතාව සමූහ වශයෙන් මැරෙන කොටත් දිඹුලාගල හාමුදුරුවො තමයි එතැනට මුලින්ම වඩින්නෙ. උන්වහන්සෙ ඒ වගේ වෙලාවට සමහර තැන්වලට මිනීපෙට්ටි පවා ගෙනගියා.
ජේ.ආර්. ජයවර්ධනට නම් හොඳටම බැණපු අවස්ථා තියෙනවා. සමහර ප්‍රාදේශීය සභාපතිලට කුඩ කැඩෙනකම් ගහපු අවස්ථාත් තියෙනවා. හාමුදුරුවන්ට අසනීප වුණාම බෙහෙත් ගත්තෙ මනම්පිටියෙ හිටපු දෙමළ දොස්තර මහත්මයකුගෙන්. එතුමා හාමුදුරුවන්ට විශ්වාසයි.
එක දවසක් දියවැඩියාවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හාමුදුරුවන්ට බරපතළ ලෙස අසනීප වුණා. සමහර විට හාමුදුරුවො අපවත් වෙන්නෙ එදා. මෙහෙ හිටපු (නායක හාමුදුරුවන්ගේ තවත් ගෝල හිමිනමක්) සීමාලංකාර හිමියන් හා රත්ගම සුනන්දාලංකාර හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා උන්වහන්සේලා ඒ වෙලාවෙම ප්‍රේමදාස මහත්මයාට කෙසේ හෝ කතා කළා. පැය භාගයක් ගියේ නෑ මනම්පිටිය රෝහල් පරිශ්‍රයට හෙලිකොප්ටරයක් ආවා. ඒකෙ නංවාගෙන ලොකු හාමුදුරුවො කොළඹ රෝහලට ගෙනැවිත් තිබුණා.
දින දෙකකට පස්සෙ උන්වහන්සේට හොඳටම සුව වුණා. ප්‍රතිකාර බිල රුපියල් හතළිස්දාහයි. වනවාසී මේ හාමුදුරුවරුන් කොහොම ඒ මුදල හොයාගන්ඩද? ප්‍රේමදාස මහත්මයා තමන්ගෙ සල්ලිවලින් ඒක ගෙවලා තිබුණා.
ලොකු හාමුදුරුවො ගහක් ගලක් වාගෙ මහ තද පපුවක් තිබුණු කෙනෙක්. ඒත් උන්වහන්සේ ප්‍රේමදාස ජනපති මියගිය දවසෙ පොඩි ළමයෙක් වගේ ඉකිගගහා ඇඬුවා මං දැක්කා. දිඹුලාගල විශ්‍රාම ශාලාවක් හැදුවෙත් ප්‍රේමදාස මහත්තයා.1994 දී චන්ද්‍රිකා ජනපතිනිය එතෙක් හාමුදුරුවන්ට දීලා තිබුණු හමුදා ආරක්ෂාව හිටි හැටියේ ඉවත් කරලා පොලිස් භටයන් හතර පස්දෙනෙක් පමණක් ඉතිරි කළා. පොලිසියේ වගේ නොවේ හමුදාවේ විනය ඉහළයි. හාමුදුරුවො උදේට ගොවිපළට කැබ් එකෙන් යනකොට ඒ අය කෑම ගනිමින් හිටියත් ඒවා පැත්තක වීසිකරලා හරි දුවලා ගිහින් වාහනයට නගිනවා. ඒත් පොලිසිය කාලා බීලා එනකම් හාමුදුරුවො ගමන එන්නෙ නැතිව නොවැඩ ඉන්න ඕනෑ. හාමුදුරුවො දරුවන්ට වගේ සැලකුවත් ඒ අය එහෙමයි කටයුතු කළේ.
අපේ ලොකු හාමුදුරුවො වෙලාවට වැඩකරන කෙනෙක්. 1996 මැයි 26 වැනිදා උදේ වෙනදා වෙලාවට හාමුදුරුවො ගොවිපළට වඩින්ඩ සූදානම් වුණා. පොලිසියෙ අය කියලා තියෙනවා ටිකක් ඉන්ඩ හාමුදුරුවනේ කියලා. හාමුදුරුවො ඇහුවෙ නෑ. රියැදුරත් වෙනදා ඉන්න කෙනා නොවේ හිටියෙ. තාවකාලිකව හිටපු කෙනෙක් ඇන්ටන් කියලා. එයා තමයි එදා ආවෙ. ගොවිපළට ගිහින් පැය භාගයක් ගියේ නෑ හාමුදුරුවන්ට වෙඩි තැබුවා කියා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා.
හාමුදුරුවන්ට ඇත්තටම වෙඩි තැබුවේ කවුද?
''ත්‍රස්තවාදීන් හාමුදුරුන්ගෙ වාහනය එන විදිය පිළිබඳ දෙමළ ළමයකුට කියලා සොයා බලලා ඔහුට කියලා තියෙනවා සිග්නල් එකක් දෙන්න කියලා. හාමුදුරුවො එදා යන ගමන් බෞද්ධසාර කියලා දන්නා කෙනෙකුත් දාගෙන ගිහින්. ආරංචි වෙච්ච හැටියටිඛ’ හැඩයට ඇම්බුෂ් දාලා කොටි කුඹුරෙ හිටියෙ.
වාහනය මැණික් ඇළ කුඹුරට ළං වූ ගමන් දෙවැනි ගේට්ටුවේදිදී වෙඩි වරුසාවක් එල්ලවෙලා. පිටුපස්සෙ හිටපු බෞද්ධසාරගෙ ඇහැක් දොට්ට පැනලා වෙඩි වැදිලා. ඇන්ටන්, හාමුදුරුවන් ඇදගෙන ඇළට පැනලා යන්න හදද්දී කොටි එයාට වෙඩි තිබ්බා.
මෙච්චර වෙඩි වැදිලා වාහනය හිල්වෙලා තිබියදීත් හාමුදුරුවන්ට එක වෙඩිල්ලක් වැදිලා නෑ. බෞද්ධසාර මැරුණෙ ටික වේලාවකට පස්සෙ නිසා මිනිහා සිද්ධිය එතැනට ආපු කෙනකුට දෙන්නකුට කියලා. මිනිහා මුහුණෙ ලේ ගාගෙන මැරිලා වගේ කොටි යනකම් එතැනම හිටියලු.
හාමුදුරුවන්ට වෙඩි තබන්න බැරි තැන උන් කෙටේරියකින් උන්වහන්සේගේ ඔළුවට කොටලා. ‘මං මැරෙන්ඩ බය නෑ යකුනේ’ කියලා හාමුදුරුවො දෙමළ බසින් උන්ට කිව්වලු අපවත් වෙන්න මොහොතකට කලිනුත්.
හාමුදුරුවන්ට වෙඩි නොවැදුණු සිද්ධිය කොටි හොයා බැලුවා. හාමුදුරුවන්ගේ ඉණේ බලගතු සුර කීපයක් තිබුණා. කොටි ඒ සුර සියල්ලමත් අරන් ගිහින්. හාමුදුරුවො අපවත් වෙච්ච ආරංචියට මුළු රටම කලබල වුණා. මාතරින්, කිතලගමින් ලොරි පිටින් මිනිස්සු ආවා මේ පැත්තෙ දෙමළ ගම් වනසන්ට හිතාගෙන. ඒත් හමුදාව මැදිහත් වෙලා ඒවා වැළැක්වූවා.
ඇත්තටම සොරිවිල දෙමළ ගමේ මිනිස්සුත් එදා ඇඬුවා. අදත් අඬන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ගම මැදින් ත්‍රස්තයො ආවෙ. මිල්ලානා වැදි නායකයා හාමුදුරුවො අපවත් වෙලා ඉතාම ටික කලක් දුකින් ජීවත් වුණා. එයත් මියගියේ අපේ හාමුදුරුවො අපවත් කළ අයට හොඳක් වෙන්ට එපා කියලා.''
උපුටා ගැනීම - මව්රට