gossip lanka

විජේවීරගේ පුතා උවිඳු තාත්තා කළ දේම කරන්නද මේ හදන්නේ?

අපි දන්න ලිඛිත 2500 වසරක ඉතිහාසය ඇතුළේ ඉන්දියාව විතරක් අපිව 17 වතාවක් ආක්‍රමණය කරලා තියෙනවා. ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක 18 වතාවක් ආක්‍රමණය කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපා ජාතීන් 3ක් අවුරුදු 500කට එහා මේක සමස්ත වශයෙන්ම යටත් කරගෙන හිටපු තැනක අදටත් අපි අපේ ඓතිහාසික උරුමය රැකගෙන අපේ සභ්‍යත්වය රැකගෙන අපේ මවු භාෂාවෙන් කතා කරමින්, බෞද්ධ සංස්කෘතිය රැකගනිමින් ගමනක් ඇවිල්ලා තියෙනවා. 

අපි දන්නවා ලෝක ඉතිහාසය දිහා බැලුවම ලෝකයේ අනෙක් රටවල් දිහා බැලුවම යටත් විජිතකරණයට ලක්වෙච්ච අප්‍රිකාවේ බහුතර රටවල් ගත්තොත් ලතින් ඇමෙරිකාවේ තියෙන බහුතර රටවල් ගත්තොත් ප්‍රංශය, පෘතුගීසි බි්‍රතාන්‍ය කියන යටත් විජිතවලට ලක්වෙච්ච අපි වගේම රටවල් බහුතරයක් ගත්තොත් අද ඔවුන්ට ඔවුන්ගේ මුල් සංස්කෘතිය නෑ. ඔවුන්ගේ ආගම් හර පද්ධතීන් නෑ. ඔවුන් ලෝකෙ තවත් කොහේ හරි රටක යටත්විජිතයක් වශයෙන් තමයි තාම ජීවත් වෙන්නේ.

හැබැයි ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් වෙච්ච මේ ලංකාව පිහිටා තිබෙන තැනත් එක්ක අපිට ආපු ආක්‍රමණත් එක්ක අපට පුළුවන් වුණා මේ 2500 ඉතිහාසය පුරා සියලු කාලයන් තුළ අපේ සංස්කෘතික හර පද්ධතීන් රැකගෙන ඒ ශක්තියත් එක්ක නැගී සිටින්න.

මම හිතනවා මගේ කතාව මම එතැනින් ආරම්භ කරන්න තීරණය කළේ අද මේ මොහොතේ අපට පැනනැගිලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි සමස්ත ප්‍රශ්නය දිහා අපි උඩ ඉඳන් බැලුවොත් සමස්ත ඉතිහාසය පුරාම විවිධ ධාරාවන් ඔස්සේ, ඒක යුදමය ධාරාවන් වෙන්න පුළුවන්, මෑතකාලීන යුගය වෙනකොට ඒක ගිවිසුම්සහගත ක්‍රියාවලීන් වෙන්න පුළුවන්. මෙවැනි ක්‍රියාවලීන් ගණනාවක් ඔස්සේ අපේ රට යටත් කරගැනීමේ උත්සාහයක් තියෙනවා. ඇයි මේ ලංකාව මේ අයට මේ විදියට වැදගත් වෙන්නේ? ලෝකෙ තව ගොඩක් රටවල් තියෙනවා. ලෝක මහා බලවතුන් දෙදෙනෙක් හැටියට අපට ඉන්දියාව සහ චීනය හඳුන්වන්න පුළුවන්. ඉන්දියාව කියන්නේ අද වෙනකොට ලෝකෙ මහා බලවතෙක්. චීනය කියන්නෙත් ලෝක මහා බලවතෙක්. මෙවැනි බලවතුන් අතරට මැදිවෙච්ච පුංචි රාජ්‍යයක් අපි. අපි කොහොමද මේකට මැදිහත්වෙන්නේ? අපි බැලුවොත් ලංකාව කියන පුංචි දූපත පිහිටා තියෙන්නේ මේ තියෙන ලෝක භූ දේශපාලනය ඇතුළේ මර්මස්ථානයක. මේ මාතෘභූමියට ඉතා අවාසිදායක තැනක තමයි මේ රටේ පිහිටීම තියෙන්නේ. ඒක අවාසිදායක තැනකට අපි මේ රට පත්කරගෙන තියෙනවා. ඒක අපි වෙනම කතාකරමු. මන්ද යත් ඉන්දියාව කියන මහා රාජ්‍යයේ නැගෙනහිර වෙරළත් බටහිර වෙරළත් එක වර ආවරණය කරන්න පුළුවන් හැකියාවක් මේ ලංකාව කියන පුංචි දූපතට තියෙනවා. මෙතැනින් පහළ තවත් දූපත් තියෙනවා.

මාලදිවයින, මැඩගස්කරය කියලා අප්‍රිකාව පැත්තට තියෙනවා. අන්දමන් සහ නිකොබාර් කියලා දූපත් තියෙනවා. හැබැයි මේ දූපත් මොනවා තිබ්බත් ලංකාව අත්පත් කරගැනීමේ දැඩි සාපිපාසාවක මේ බලවතුන් ඉන්නවා. ඇයි? ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දීය සාගරයේ මහා මර්මස්ථානයක. මෙතැනින් ඉස්සරහා ලෝකයේ ආර්ථික බලවතා බවට චීනය පත්වෙද්දී ඔවුන්ගේ මහා සේද මාවත වැටෙන්නේ ලංකාව හරහා. ඇමෙරිකාව හරි ඉන්දියාව හරි චීනය හරි ඔස්ටේ්‍රලියාව හරි එකතු වෙලා කොඩ් සංවිධානය හදන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය මේ මහා යුද මාවත කලාපයේ බලය ආරක්ෂා කරගැනීමේ මහා යුද මාවත වැටෙන්නෙත් ලංකාව හරහා. එහෙම තැනක ලංකාවට තියෙන අනතුර ආක්‍රමණ ඉතා ඉහළයි. මේ පුංචි කතාව අපි ඔළුවේ තියාගෙන තමයි අපි ඉදිරියට කතාකරන්න අවශ්‍ය වෙන්නේ.

අපේ ලංකාව මේ වෙනකොට ආක්‍රමණ 21කට මුහුණ දීලා තියෙනවා. හැබැයි මේ ආක්‍රමණ නවතින බවක් අපට පේන්නෙත් නෑ. මම විශ්වාස කරනවා මගේ ඉදිරියේ සිටින ඔබ සියලු දෙනාම ඉතිහාසය පුරා තිබුණු සටන් ගණනාවක නායකත්වය දුන්න පිරිසක්. සංඝරත්නයත් එහෙමයි. මම හිතන්නේ ඔබ දන්නවා මේ අනතුර විවිධාකාරයෙන් ලංකාවට ආවා. ඒක ඉන්දු ලංකා ගිවිසුම හරහා වෙන්න පුළුවන්. ඊට කලින් වෙන්න පුළුවන්. සෝපා එක හරහා වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම නොනවතින ගිවිසුම් සහ සැලසුම් ගණනාවක් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙද්දී අපට තාම බැරිවෙලා තියෙනවා මේක නවත්ත ගන්න. මම විශ්වාස කරනවා මෙතැනින් ඉස්සරහට වුණත් අපි හදන බලවේගයට මේක 100%ක් නැවැත්විය නොහැකියි. ගෞරවනීය මහා සංඝරත්නයෙනුත්, මේ ඉන්න විද්වතුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ එක දෙයයි. ඒ තමයි මේ එන ගිවිසුම් සහ ආක්‍රමණ හෙට නවතින්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ එක සටනක් කරලා මේක අවසන් කිරීම නෙවෙයි. අපිට අවශ්‍ය වෙනවා මේක එක පැත්තකින් පරාජය කරන ගමන්, මෙතැනින් ඉස්සරහටත්, ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දියාවේ එක කොනක පිහිටා තිබෙන තාක්කල් මේ තර්ජනය අපට එනවා. එක්කෝ ලංකාව මේ තියෙන භූමියෙන් පාවෙලා කොහෙට හරි ගියොත් හැර මේ අර්බුදයෙන් අපිට එළියට එන්න විසඳුමක් නෑ. අපිට අනවරත අරගලයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ උදෙසා ජනතාව සහ සමාජය සූදානම් කර තැබිය යුතුයි.

අපි ඉතිහාසයේ වරද්ද ගත්ත ප්‍රධාන දෙයක් තමයි අපි හිතුවා යම් අරගලයක් ඉන්දු ලංකා ගිවිසුම පරාජය කළොත් මේක විසඳෙනවා කියලා. අපේ රාජකීය පෙළපත ගත්තම රජවරු කීයක් නම් ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව සටන් කරලා ඇද්ද? නමුත් මේක ඉවර වුණාද? නෑ. මේක නවතින්නේ නෑ. එකම දෙයයි තියෙන්නේ. භූ දේශපාලන ස්ථානයේ අපේ රට කොහෙට හරි ගහගෙන යන්න ඕනේ. එහෙම යන්නේ නෑනේ. එහෙනම් අපට සූදානම් වෙන්න වෙනවා සමාජය ඒ වෙනුවෙන් ශක්තිමත් කරන්න. ඒකේ මූලික වගකීම තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලාට.

අපි දන්නවා ජෝන් ඩොයිලිලා, මැකෝලිලා සුද්දොත් එක්ක එකතුවෙලා ගිවිසුමක් ගහලා මේක අල්ල ගත්තා. මුල්ලේරියාවේ ඉඳන් දන්තුරේ වෙනකල් යුද්ධ 5ක් කළා. යුද්ධ 5ම පරාදයි. ලංකාවත් එක්ක යුද්ධ කරලා මේ රට අත්පත් කරගත්තේ නෑ. අපි දන්නවා මේක අල්ල ගත්තේ 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට ගිවිසුමක් ගහලා ගිවිසුමෙන් මේක යටත් කරගත්තේ. ඒකට යම් යම් කාරණා ඇති අපේ රටේ හිටපු නායකත්වය තිබුණේ වඩුග රජ කෙනෙක් හිටියේ. ඒක වෙනස් කරන්නත් අපේ රදළයන්ටත් වුවමනාවක් තියෙන්න ඇති.

කුමන හෝ තත්ත්වයක් නිසා ගිවිසුමකින් තමයි මේක අල්ල ගත්තේ. ඒ අල්ල ගනිද්දී ඔවුන් දැනගෙන හිටියා යුද්ධ කරලා මේ රට අල්ල ගන්න බෑ කියලා. එහෙම තැනක ඔය මැකෝලිලා තමයි කියන්නේ ලංකාවේ ඉන්නවා කහ සිවුර දරාගත්ත හිස මුඩු කරපු හමුදාවක්. මේ හමුදාව පරාජය කරනතුරු මේ රට අපිට අල්ල ගන්න බෑ කියලා. ඔවුන් දැනගෙන හිටියා මේ රට අල්ල ගන්න බෑ කියලා. මේ රටේ සංස්කෘතික පද්ධතියක්, හර පද්ධතියක් තියෙනවා, අපිටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. මේකට පහර ගහන්නේ නැතුව මේක අල්ල ගන්න බැහැ කියලා ඔවුන් දැනගෙන හිටියා. අපි හැමදාම වැටිච්ච තැන්වල නැගිට්ටා. හැබැයි අද අපිට නැගිටින්න වට්ටලා තියෙනවා. ඒක අපිට දැනෙනවා. මෙතැන ඉන්න වැඩිහිටි පරම්පරාව දන්නවා හැත්තෑ ගණන්වල ඔබ කරපු සටන් අරගලත් එක්ක අද මේ සමාජය කොතරම් දුරස්ථ වෙලා තියෙනවද කියන එක. අපි වරද්ද ගත්ත එක තැනක් තමයි අපේ හර පද්ධතිය බිඳවට්ටන තැනට අපි මේ සමාජය ගෙනාවා. මම විශ්වාස කරනවා අපේ දෙවැනි පරපුර හැටියට මේක වෙනස් කරන්න පටන්ගන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි.

අපි මෑත ඉතිහාසයේ වරද්ද ගත්ත ප්‍රධාන තැනක් තමයි අපි හිතනවා කුමන හෝ පාලකයෙක් පත්කරලා මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. හැබැයි අපේ තරුණ පරපුර අපේ ළමා පරපුර මේ ජාතික මතවාදයේ නෑ. ඉන්දියාවෙන් එන පරිප්පු ටික කාලා, ඇමෙරිකාවෙන් එන පාන්පිටිවලින් එන කොත්තුව හරි පාන් බාගේ හරි කාලා හවසට ඉන්දියාවෙන් එන කාටූන් එකක් බලලා, දවල්ට ඉන්දියාවෙන් ගෙනාපු ෆිල්ම් එකක් බලලා, එහෙම නැත්නම් රෑට ඉන්දියාවෙන් එන නාට්ටි ටික බලලා, ඉන්දියාවෙන් ආපු ත්‍රීවීල් එකකම නැගලා ඉන්දියාවේ තියෙන සියල්ලම පරිභෝජනය කරන ගමන් මේ රටේ ජාතික මතවාදයක් හදන්න බෑ. අපි පටන්ගන්න ඕනේ එතැනින්.

මේ රට ඇතුළේ අපේම දේශීය ව්‍යවසාකයෝ ටික අපි හදන්න ඕනේ. දේශීය චින්තනය හදන්න ඕනේ. ඒකට මේ රටේ තරුණයා පුරුදු වෙන්න ඕනේ. අපේකම කියන එක ඡන්දයක් ආවම තවරාගෙන දේශපාලන පක්ෂ නායකයෙක් වශයෙන් පාර්ලිමේන්තු යන්න පාවිච්චි කරන තැනින් එහාට ගෙනල්ලා අපි ජීවත් වෙන සමාජයේ මහපොළොවේ අපේ යථාර්ථය බවට අපි පත්කර ගන්න ඕනේ. අපි ඉතිහාසයේ වරද්ද ගත්තේ එතැනයි. අපි විශ්වාස කරනවා අලුත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට 69 ලක්ෂයේ ජන වරම ඇතුළේ තිබුණේ ඒක. දැන් මේක කතා කළොත් හෙට මට මාධ්‍යයේ ගහන්න පුළුවන්. රාජපක්ෂ ගැත්තෙක්, රාජපක්ෂ ඉත්තෙක් කියලා.

අපි දන්නවා මේ පාලකයෝ තමන්ට දුන්න ජන වරම රැකගන්න බැරි වුණාට ඒ ජන වරම අවභාවිත කළාට අපි අදටත් විශ්වාස කරනවා ඒ 69 ලක්ෂයේ ජන වරම ඇතුළේ තිබුණේ මොකක්ද කියලා. මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න, පොදු දේපළ ආරක්ෂා කරන්න, ඉඩම් ටික ආරක්ෂා කරන්න. අපි පැහැදිලිවම දන්නවා ඒ ජනවරම ඇතුළේ තිබුණේ මේ රටේ සම්පත් පිටරටට දෙන්නේ නැත, දීපු සියල්ල නැවත පවරා ගන්නවා කියන එක. හැබැයි දැන් ඒ ජනවරමට මුවාවෙලා හදාගෙන ඉන්නවා පාලකයෙක් රනිල් වික්‍රමසිංහ කියලා. ඔහුට බලය එන්නේ කොතැනින්ද? 69 ලක්ෂයේ ජන වරම තමයි ඔහු පාව්චිචි කරන්නේ. අපි අහනවා ඒ 69 ලක්ෂයේ ජනතාවගෙන් ඔබ ජනවරම දුන්නේ මේ වෙනුවෙන්ද? උත්තරේ නැහැ. හැබැයි දැන් ඒ ජනවරම දුන් ජනතාවට කතාකරන්න බැරි තැනට මේ රටේ දේශපාලනය හදලා තියෙන්නේ. ඒ ජනවරමෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරු අද නිහඬයි.

ඒ ජනවරමට එරෙහිව හැදෙනවා අරගලයක්. ඒ අරගලය ගෝල්ෆේස් අරගලයක් වෙලා ඒ පාලකයා එළවනවා. අපි අහනවා අරගලයට ගිය තරුණයන්ගෙන්, ඔබ අරගලයට ගියේ අමුල් එකට මේ රටේ ඉඩම් ටික දෙන්නද? ඔබ ඒ අරගලයට ගියේ මේ රටේ රාජ්‍ය සම්පත් ටික ඉන්දියාවට විකුණන්නද? අරගලයේ ඇති ඔනෙ නම් 10 – 15 දෙනෙක් මේකේ අවසානයේදී රනිල් වික්‍රමසිංහ රජවෙනවා කියලා දැනගෙන හිටපු. හැබැයි පිටකවරේ විතරක් බලලා අරගලයට ගිය බහුතරයක් තරුණයෝ, දේශපාලන පක්ෂ ගණනාවක් අරගලයේ හිටියානේ. ඒ හැමෝගෙන්ම අපි ඇහුවොත් මේ රට විකුණන තැනටද ඔබ අරගලයට ගියේ කියලා උත්තරයක් නෑ. හැබැයි මේකෙ නොකියවා ගත්ත කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ මොහොත වන විට මේ රටේ සමාජය මෙහෙයවන්නේ අපි නෙවෙයි. පාලකයෝ පත්කළාට, ආණ්ඩු පත්කළාට, අරගල කළාට, 69 ලක්ෂයක ජනවරමකින් ජනාධිපති කෙනෙක් පත් කළාට මේ රටේ ජන විඤ්ඤාණය පාලනය කරන්නේ අපි නෙවෙයි. මම හිතන්නේ නෑ මෙතැන ඉන්න අපේ ජාතික ව්‍යාපාරවල ඉන්න බහුතරයකට හෝ අපිට හැකියාවක් තියෙනවා කියලා මේ ජන විඤ්ඤාණය පාලනය කරන්න.

ඇයි? මේ සමාජ මාධ්‍ය ජාල ටික ඇතුළේ අපි දන්නේ නැතුවම අපිව පාවිච්චි වෙනවා. ඒක අපිට තේරුම් ගන්න අමාරුයි. ෆේස්බුක් එකෙන් යාළුවෙක්ට මැසේජ් එකක් දාන, පාළුව කාන්සිය තියෙන වෙලාවට වීඩියෝ එකක් බලන තරුණයට තේරෙන්නේ නෑ ඒක ඇතුළේ තියෙන දේශපාලන කතාව. වට්ස්ඇප් එක හරි ඉන්ස්ටර්ග්‍රෑම් එක හරි ටික්ටොක් එක හරි පාවිච්චි කරන තරුණයාට තේරෙන්නේ නෑ ඒක ඇතුළෙන් එන දේශපාලන ආක්‍රමණය. එදා ඉන්දියාව ඇවිල්ලා අපිව යුදමය වශයෙන් ආක්‍රමණය කරද්දී බහුතරයකට ඒක තේරුණේ නෑ. මේක තේරුම් ගන්න පුළුවන් ජනතාවක් මිනිසුන් ටිකක් අපි හදන්න ඕනේ. ඒක හදන්න පුළුවන් වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුවට කුමන හෝ නායකයෙක් අපේ මතවාදයට උත්තරාරෝපිත කරලා නෙවෙයි.

අපි ඉතිහාසයේ වරද්ද ගත්ත ලොකුම තැනක් තමයි, 69 ලක්ෂයත් වරද්ද ගත්ත තැනක් තමයි අපි හිතුවා කුමන හෝ නායකයෙක්, එක්කෝ සරම බැනියම ඇන්දම, පන්සල් ගියාම, හාමුදුරුවන්ට දණගහලා වැන්දම, ඒ පුද්ගලයෝ ඇතුළේ ජාතිකත්වය තියෙනවා කියලා. අපිට දැන් අවශ්‍යයි හොයාගන්න නායකයෝ ටිකක් මිනිස්සු ටිකක් ඇඟ ඇතුළේ ජාතිකත්වය තියෙන. ඇඟ ඇතුළේ බෞද්ධකම තියෙන. එහෙම මිනිස්සු ටිකක් අපි උඩට අරගෙන යනවා මිස කොහෙන් හෝ කඩා පාත්වෙන පාලකයන්ට ජාතික සළුපිළි අන්දවා පාර්ලිමේන්තු යැවීමෙන් අපි විශ්වාස කරන්නේ නෑ මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා. මේක තවදුරටත් අර්බුදයට යනවා. මම කියන්නෙම 69 ලක්ෂයේ ජනවරම ඇතුළේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාලයක් තුළ කිසිම පාලකයෙක්ට නොලැබුණු මේ රටට ජාතිකත්වයට ආදරේ කරන ජන වරමක් තිබුණා. අද ඒ ජනවරමට කතාකරන්න බැරි වෙන තැනට සැලසුම් හැදිලා ඉවරයි. ඒ ජනවරම හාන්සි කරලා ඉවරයි. දැන් අපිට ඊළඟ සටනක් තියෙනවා. මේ ගිවිසුම් පරාජය කරන්න නම් අපිට මේ ජනවරම අවදි කරන්න වෙනවා. මේ මිනිස්සු ටික අවදි කරන්න ඕනේ. මහා සංඝරත්නය පෙරට එන්න ඕනේ. මේ මහපොළොවට ආදරේ කරන මිනිස්සු ටිකක් මේ පාලනය ගන්න පුළුවන් තැනට නායකයෝ බවට පත්කරන්න ඕනේ අපි.

මට ගොඩක් සතුටුයි, මම ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ ඉන්නකොට අපේ කඳවුරේ අපිව භාරව හිටපු රියර් අද්මිරාල්තුමත් මගේ ඉදිරියේ ඉන්නවා. මම බෞද්ධයෙක් වෙන්නත් මූලික පාර කැපෙන්නේ එතුමා හරහා. මොකද අපි ත්‍රිකුණාමලයේ ඉන්නකොට නාවික කඳවුරේ පන්සලක් තිබුණා. හැබැයි වහලා දාලා තිබුණේ. පෝය දවසට බණක් කියනවා එච්චරයි. මම ඉස්කෝලේ දෙක හෝ තුන වසරේ එතකොට. ත්‍රිකුණාමලය කොටි කලබල තිබ්බ, සිංහල බෞද්ධකම ඈත් වෙච්ච නගරයක්. ඒ නාවික හමුදා කඳවුරට දහම් පාසලක් ගෙනල්ලා ස්වාමින්වහන්සේ නමක් වඩම්මලා ඒ හිටපු බෞද්ධ දරුවන්ට ඉගෙන ගන්න ඉඩ ප්‍රස්ථාව හැදුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මයා තමයි. ඒ තුළ අපට අවස්ථාවක් හැදුණා අපේ සංස්කෘතියත් එක්ක ගැටගැහෙන්න. මේ පුංචි තැන ඉඳලා අපේ ඔළුවට වැටුණා අපේ වටිනාකම. එහෙම තැනක තමයි අද අපි නිර්මාණය වෙලා ඉන්නේ. මම මේ වෙනම කතාවක් කිව්වේ එතුමාට ගෞරවය පිණිස. එහෙම හදපු මිනිහෙක් තමයි ඔබගේ වේදිකාවේ අද කතා කරන්නේ. අපි විශ්වාස කරනවා අපේ ඇඟ ඇතුළේ ඒ බෞද්ධකම නැත්නම්, ඒ ජාතිකත්වය නැත්නම් මේ ගමන කුමන හෝ තැනක අපි ඔබත් එක්ක ගිහිල්ලා මේක බිඳවට්ටනවා. අද අපි මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි එහෙම පාලකයෝ ටිකක් එක්ක ගමනක් ගිහිල්ලා ඔවුන් විසින් මේක බිඳවට්ටලා තියෙනවා.

මම කිව්වා ඉන්දියාවේ පරිප්පු ටික, ඇමෙරිකාවේ පිටි ටික කාලා අපට පුළුවන්ද ජාතික මතවාදයක් හදන්න? බැහැ. ඇමෙරිකාවේ ෆේස්බුක් එක නම් පාවිච්චි කරන්නේ ඒකේ වට්ස්ඇප් එක නම් අපි පාවිච්චි කරන්නේ, මේවා පාවිච්චි කරන්න එපා කියනවා නෙවෙයි මම. අපිට අවශ්‍යයි අපේ දේ හදාගන්න. චීනේ ඉන්දියාව රුසියාව ඔවුන්ගේ දේ හදලා තියෙනවා. හැබැයි අපිට බැරිවෙලා තියෙනවා අපේ දේ හදාගන්න. හෙට මොන නායකයෙක් අපි පත් කළත් පරිප්පු ටික නැවැත්තුවොත් ඉන්දියාව, එට්කා එකත් අමතකයි, සීපා එකත් අමතකයි අපේ මිනිස්සුන්ට. මෙතැන ඉන්න ඔක්කොම ටික ගහලා පන්නනවා. කවුද අපිව පාලනය කරන්නේ? ඔබට මතක ඇති තෙල්වලට මොකද වුණේ කියලා. මේක ගැඹුරින් තේරුම්ගන්න අවශ්‍යයි අපි. මේකට විසඳුම් නැතුව මේ වැඩේට බැස්සට වැඩක් නෑ. අපිට අවශ්‍යයි දේශීය ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ. මම දන්න විදියට ඉන්දයාවට ගිය අපේ ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනයි ඉන්නේ. අඩුම අපේ රට ඇතුළේ අපේ දේශීය ව්‍යවසායකයෙක් හදාගන්න අපිට හැකියාව තියෙනවද? නෑ. මේක මතවාදීව විතරක් කතාකරලා වැඩක් නෑ. අපිට අවශ්‍යයි පෙරමුණු ගණනාවක් හදන්න. තරුණ පෙරමුණක් වෙනම හදන්න ඕනේ. ඒ තරුණයාගේ ඇඟ ඇතුළේ තියෙන්න ඕනේ අපේකම. අපේ දේ, අපේ වටිනාකම. ලෝක සාහිත්‍යය රසවින්දට කමක් නෑ.

ලෝක සිනමාව රසවින්දට කමක් නෑ. හැබැයි ඉන්දියානු නාට්‍ය බලලා, ෂාරුක් ඛාන් ගැන හීන දැක දැක නින්දට ගිහිල්ලා හෙට උදේ නැගිටලා ඇවිල්ලා ඉන්දියාවට විරුද්ධව සටන් කරන්නේ නෑ. එතකොට මේ එට්කා ගිවිසුම නෙවෙයි වැදගත් වෙන්නේ. අර නළුවට හරි නිළියට හරි ප්‍රේම කරන්නේ. බිත්තර ටිකත් එන්නේ ඉන්දියාවෙන්නේ. බිත්තර ටික නැවැත්තුවොත් අලුත් අවුරුද්ද ඉවරයි. එතකොට ජාතික මතවාදයක් වැදගත් නෑ අපේ මිනිස්සුන්ට. මේ අමුවෙන් කතා කරන්නේ. එට්කා එකට විරුද්ධ වෙන්න අවශ්‍ය නෑ. කන්න තියෙන්න ඕනේ මිනිස්සුන්ට. මිනිස්සු ඒවත් එක්ක ගැටගැහෙනවා. හැබැයි අපිට අභියෝගයක් තියෙනවා මේක දැනුවත් කරන්න. හැබැයි ඒක දැනුවත් කළාට වැඩක් වෙන්නේ නෑ, මොකද ඒකට අවශ්‍ය පසුබිම අපි හදලා නෑ. මේ තරුණ පෙරමුණ වෙනම හදන්න ඕනේ. ව්‍යවසායකත්වය වෙනම හදන්න අවශ්‍යයි. හැබැයි එතැනින් එහාට ගියාම මම හිතනවා මේ බිමේ තියෙන ව්‍යාප්තවාදී මේ රටට අහිතකර සටන්වල ප්‍රධානම පෙරමුණ ගන්න ඕනේ මහාසංඝරත්නය. ඒකත් අද එක්තරා දුරකට නිහඬ කරවලා තියෙන්නේ. අපි විශ්වාස කරන එක දෙයක් තියෙනවා. මේ මොහොතේ මේ රටට සංඝ නායකයෙක් අවශ්‍යයි. මේ නිකායන් සියල්ල එකතු වෙච්ච සංඝ නායක කෙනෙක් අවශ්‍යයි. ගිහියෙක් හැටියට මේක කතා කරන්න මට අයිතියක් තියෙනවද කියලා මම දන්නේ නෑ.

මෙන්න මේ කියන පෙරමුණු ටික අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ සියලු දෙනාම මවුබිමට, මහපොළොවට ආදරේ කරන මිනිස්සු. ඔබ විවිධ දේශපාලන පක්ෂවල ඉඳලා ඇති. මම හිතනවා ඒ හැම දෙනාම කුමන පක්ෂයකට වැඩ කළත් අවසානයේ ඔබේ හදවත ඇතුළේ තියෙනවා මවුබිමට තියෙන ආදරයක්, කැමැත්තක්. මේ ආදරේ කැමැත්තත් එක්ක අපි දැන් මිනිස්සු ටික එකතු කරගන්න අවශ්‍යයි. ඉතිහාසයේ අපිට වැරැදිච්ච තැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ජනවරම් පාවාදීපු, රනිල් වික්‍රමසිංහට පාර කපපු, පාර කපන්න වැඩ සලසපු දේශපාලනය අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒක සුළු තැනකින් අල්ලා ගන්න එපා. ඒකේ මහා චිත්‍රය කියවගන්න. ඒක අරගලයත් එක්ක, 69 ලක්ෂයේ ජනවරමත් එක්ක, ඊට කලින් තිබුණු ජනවරමත් එක්ක ඔබ කියවාගන්න. මම ඔබට ආරාධනා කරනවා එක දෙයක්. මෙතැනින් ඉස්සරහට එන මේ අභියෝගය හමුවේ අපිට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ වේදිකාව නිල් – රතු – කොළ – දම් – කහ වෙන්න බෑ. ඒක ලාංකේය පැහැය ගන්න ඕනේ. මේ රටේ මේ මවුබිමේ පැහැය ගන්න ඕනේ.

එහෙම තැනක අපිට සිද්ධ වෙනවා අලුතින් මේ සියල්ල එකතු කරන්න. ඉතින් අපි තරුණ දේශපාලන ව්‍යාපාරයක්. අපිට වඩා අත්දැකීම් කියවීම් ඔබතුමන්ලාට තියෙනවා. ඔබලා කුමන දේශපාලන පක්ෂයක, දේශපාලන මතවාදයක ක්‍රියාත්මක වුණත් අපි විශ්වාස කරනවා මේ එට්කා සහ සෝෆා ගිවිසුමේ ඇමුණුමත් එක්ක මේ මොහොතේ රටට ඇවිල්ලා තියෙන අභියෝගය අර්බුදය අපි හරියට කියවා ගත්තොත් මේ මොහොතේ රටේ තියෙන භූ දේශපාලනය ඇතුළේ මේ ජාතික බලවේග සියල්ල බිමට සමතලා කරලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් ජාතික බලවේග සියල්ල බිමට සමතලා කරලා බියවද්දලා තියෙන්නේ. බියවද්දලා තියෙන්නේ කවුද? ඉතිහාසයේ යම් තැනක මේ දේශපාලනයේ ඉන්දියාවට ආක්‍රමණයට විරුද්ධව සටන් කරපු දේශපාලන පක්ෂම අඩුවැඩි වශයෙන් අද ඔවුන්ගේ ඉත්තන් බවට පත්වෙලා තියෙනවා. ඒ බලය ඇතුළේ ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා මේ ජාතික බලවේග සියල්ල අපි තෝරාගත්ත, අපේ ජනතාව තෝරාගත්ත සමහර දේශපාලන නායකයන්ගේ පෞද්ගලික අඩුපාඩු හරහා බිමට සමතලා කරන්න. දැන් අවශ්‍යයි මෙතැනින් එළියට ඇවිල්ලා සැබෑ දේශපාලන බලවේගයක් මේ බිමේ හදන්න. සැබෑ පෙරමුණක් මේ බිමේ හදන්න.

අපි කවුද? අපි පුංචිම පුංචි තැනක ඉන්නේ. එහෙම තැනක අපිට බැරි නම් මේ ජාතික අදහස් තියෙන මිනිස්සු ටික එකතු කරගන්න. මේ ටික අපිට එකතු කරගන්න බැරිනම් අපිට මෙතැනින් ඉස්සරහට සටනක් කරන්න බැරිවේවි. අපි ඉදිරියේ තියෙන අභියෝගය ඉතා බරපතළයි. 88 – 89 තිබ්බ ඉන්දියාව නෙවෙයි අද තියෙන්නේ. චෝල පාණ්ඩ්‍ය තිබුණු ඉන්දියාව නෙවෙයි අද තියෙන්නේ. එහෙම තැනක අපි එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වශයෙන්වත්, දේශපාලන නායකයෝ වටාවත් නෙවෙයි. සැබෑ ගැටලුව තේරුම්ගෙන තමයි අපි එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ හරි, ඔහුට බලය ලබාදුන්න රාජපක්ෂවරු හරි, අපේම ජනතාව විසින් පත්කරපු කුමන හෝ දේශපාලන කණ්ඩායමක් සහ ඉතිහාසයේ තමන්ට පැවරුණු වගකීමට පයින් ගහපු ජවිපෙ හරි. මේ සියලු දෙනාම මේ සම්බන්ධයෙන් නිහඬයි. තමන්ගේ ඉතිහාසයට පයින් ගහලා, තමන්ට දීපු ජන වරමට පයින් ගහලා, අද රනිල් වික්‍රමසිංහ නමැති එක පාලකයෙක් ජනවරමකුත් නැතුව මේ සියල්ල මෙහෙයවනවා. කවුද විරුද්ධ වෙන්නේ? මේක සමාජයට කියන්න අවශ්‍යයි. මේක සමාජයට කිව්වොත් සමාජය අවදි කරගන්න, එකතු කරගන්න අපට බැරිවෙන්නේ නෑ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මවුබිම තියෙන්නේ සැබෑ අනතුරක. පාට පක්ෂ දේශපාලන කතා පැත්තක දාලා පොදු පෙරමුණක් නිර්මාණය කරන්න ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව පෙළගස්වන්න කියන ආරාධනාව කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
gossip lanka