gossip lanka

පවුලක්ම මරපු ෆෙබ්රියෝ ද සොයිසාට මරණ දඬුවම ලැබෙයිද? කැනඩාවේ 65% ඉල්ලන දඬුවම මොකක්ද? මෙතැනින් එහාට වෙන්න යන්නෙ මොනවද?

‘කැනඩාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්වලා දැන් වසර 48ක් වෙනවා. ඒ කියන්නේ එම තහනම ගෙන ආවේ 1976 වසරේ ජූලි 26 වැනිදා. එතැන් සිට මේ දක්වා කසිදු අපරාධකරුවකුට මරණ දඬුවම ලබාදුන්නේ නැහැ. ඒත් ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙනවා. කැනඩාවේ එතෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන එකම ක්‍රමය එල්ලා මැරීම පමණයි. 1867 සිට 1976 දක්වා මරණ දඬුවම නවත්වන දිනය තෙක් අපරාධකරුවන් 710ක් එල්ලා මරාදමනු ලැබුවා. මෙයින් 13ක් කාන්තාවන් වුණා. 1976/C-48 කැනඩා පාර්ලිමේන්තු පනත යටතේ මරණ දඬුවම තහනම් කරනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට කැනඩාව කියන්නේ ඉතා භයානක අපරාධ ඉතා අඩු රටක්. එසේ වුණත් මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ සහ අනෙකුත් අපරාධ යම් පමණකින් සිදුවෙනවා. කැනඩාව කියන්නේ ප්‍රාන්ත 36කින් සමන්විත විශාල රටක්. මේ අනුව මුළු කැනඩාව තුළම 2022 වසරේදී මිනීමැරීම් 874ක් සිදුව තිබෙනවා…’ Sri Lanka Latest News

ලෝකයේ ප්‍රධාන පෙළේ ධනවත් සහ සංවර්ධිත බටහිර රාජ්‍යයක් වන කැනඩාවෙන් ඇසෙන මෙම කතාව කුමක්ද? මෙම වගතුග ඔබට සවනට වැටෙන විටම මේ දිනවල මුළුමහත් ලෝකයේම දැඩි කතාබහකට ලක්ව තිබෙන කැනඩාවේ පසුගියදා සිදුවූ ශෝචනීය සිදුවීමද සිහියට නැගෙයි. එය නම් ශ්‍රී ලාංකික පවුලක පුද්ගලයන් හයදෙනකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමයි. එම රටෙහිම ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයකු විසින් මෙම බිහිසුණු අපරාධය සිදුකර තිබිණි. කැනඩා ඉතිහාසයේ මෑත කාලයේ සිදුවූ ම්ලේච්ඡතම බිහිසුණු අපරාධයක් ලෙස එය සඳහන් විය. මෙම කුරිරු අපරාධයේ බොහෝ තොරතුරු ඔබ දන්නෙහිය. එහෙත් එය වටා ගොඩනැගෙන යම් අලුත් තොරතුරු ඔබ නොදන්නවා ඇත.


මේ ලිපියේ ඉහතින් ලියා තැබුවේ එවන් වගතුගකි. එනම් කැනඩාවේ අපරාධ ක්ෂේත්‍රයට අදාළව හෙළිවන නවතම වගතුගකි. එම වගතුගෙහි ප්‍රධාන මාතෘකාව වන්නේ මරණ දඬුවමයි. එනම් යම් අපරාධකරුවකුට රජය විසින් ලබාදෙන මරණ දඬුවමයි. ඉහත එම මාතෘකාව මත මෙයට දින කිහිපයකට පෙරදී යම් සුවිශේෂ පුද්ගලයකු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් එසේ සටහන් කළෙමි. කැනඩාවේ තිබෙන ස්වාධීන පර්යේෂණ සහ සමීක්ෂණ ආයතනයක් වන ‘කැනඩා රිසර්ච් කෝ’ නමැති ආයතනය විසින් 2023 වසරේදී සිදුකරන ලද නවතම සමීක්ෂණයක තොරතුරු මෙම කතාවට පාදක වෙයි. මෙම විෂයට අදාළ මාතෘකාව ලෙස ප්‍රකාශ වන්නේ ‘මරණීය දණ්ඩනය සහ මරණීය දණ්ඩනය ගැන ජනතාවගේ මතය’ යන්නය. ඒ අනුව කැනඩාවට අදාළව එම පුළුල් සමීක්ෂණය සිදුකර ඇත. Canada Research Co. සංවිධානයේ වත්මන් සභාපති මාරියෝ කැන්සෙකෝ මෙම අර්ථ දැක්වීම සිදුකරයි.


‘පසුගියදා කැනඩාවේදී කුඩා දරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් හයදෙනකු තවත් යම් ශ්‍රී ලාංකික තරුණයකු අතින් ඉතා කුරිරු ලෙස ඝාතනයට ලක්වුණා. ඉතා දරුණු කැපෙන ආයුධ දෙකක් භාවිත කරමින් තමයි මොහු මෙම අපරාධය සිදුකර ඇත්තේ. එනම් පුද්ගලයන් හයදෙනාම මරණයට පත්කර ඇත්තේ කපා කොටා දමමින්. මෙවැනි භයානක අපරාධකරුවකුට නීතිය මගින් ලබාදෙන දඬුවම කුමක්දැයි මුළු ලෝකයම ප්‍රශ්න කරනවා. එහෙත් එහිදී අපට කියන්නට තිබෙන්නේ කැනඩාවේදී එවැනි අපරාධකරුවකුට මරණ දඬුවමක් ලබාදෙන්න නීතිමය වටපිටාවක් නැහැ. එසේ වන්නේ මම මුලින් ප්‍රකාශ කළ ආකාරයට කැනඩාවේ මරණ දඬුවම තහනම් කරලා දැනට වසර 48ක් ගතවෙලා තියෙන නිසයි. මිනීමැරීම් සිදුකළ අපරාධකරුවන් විශාල පිරිසක් කැනඩාවේ පසුගිය කාලයේ සිටියත් ඒ සියල්ලන්ටම අධිකරණයන් විසින් ලබාදුන්නේ ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම් පමණයි.

මෙම ශ්‍රී ලාකික පවුල ඝාතනයට අදාළ නඩුව පසුගිය 14 වැනිදා ඔටාවා මහාධිකරණයේදී කැඳවනු ලැබීය. එහෙත් ඝාතනයේ සැකකරු වන ෆෙබි්‍රයෝ සොයිසා නමැති 19 හැවිරිදි තරුණයා අධිකරණයට රැගෙන ආවේ නැත. ඔහු මේ වන විට ඔටාවා – කාල්ටන් රැඳවුම් මධ්‍යස්ථානය නමැති, එම නගරයේම පිහිටා ඇති නිවැරැදි කිරීමේ බන්ධනාගාරයක අධි ආරක්ෂාව යටතේ රඳවා ඇත. ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයා පමණක් අධිකරණයට පැමිණ ඇත. මෙම නීතිඥවරයාටද අපරාධ සැකකරු මුණගස්වා ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පමණි. එහිදී ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සැකකරු හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවත්, එහෙත් ඔහුගේ මානසික තත්ත්වය කුමක්දැයි තමන් නොදන්නා බවත්ය. මෙම තොරතුරු නීතිඥයා විසින් අධිකරණයට ප්‍රකාශ කිරීමෙන් පසුව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ සැකකරුගේ මානසික තත්ත්වය ගැන අධ්‍යයනයක් සිදුකළ යුතු බැව්ය. මෙම නඩුව ඉතා ඉක්මනින් විසඳිය හැකි එකක් නොවන බවත්, ඒ සඳහා දිගු කාලයක් ගතවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත. මේ අනුව නඩුව ලබන මාර්තු 28 වැනිදාට කල්තැබිණි. මෙම වටපිටාවේදීම තවත් සුවිශේෂ පුවතක් ලෙස වාර්තා වූයේ අපරාධ සැකකරුවූ ෆෙබි්‍රයෝගේ පුද්ගලික යූටියුබ් නාලිකාවද තහනමට ලක්කර තිබීමය. මෙම නාලිකාව හරහා ඔහු බොහෝ විට විවිධ පරිගණක ක්‍රීඩා ආශ්‍රිත තොරතුරු හුවමාරු කළ බව පැවැසෙයි. මෙහිදී ඔහු ‘මයින්ක්‍රාෆ්ට්’ නමැති පරිගණක ක්‍රීඩාවක් නිතර පරිහරණය කළ බවද පැවැසෙයි. එය ලොව බොහෝ තරුණ පිරිසක් භාවිතකරනු ලබන පරිගණක ක්‍රීඩාවකි.

මෙම අලුත්ම සිද්ධියේදීත් සිදුවන්නේ එයම තමයි. අපගේ Canada Research Co. ආයතනය 2023දී සිදුකළ සමීක්ෂණයේදී වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගත්තා. මෙම වැදගත් සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් අපට නිගමනය කරන්න හැකි වුණේ කැනඩාවේ ජනතාවගෙන් 62%ක බහුතරයක් නැවත මරණ දඬුවම ස්ථාපිත කළ යුතු යැයි ප්‍රකාශ කිරීමයි. ඔවුන් එක හඬින්ම කියා සිටියේ කැනඩාවේ අපරාධ ප්‍රතිශතය වෙනත් කාලවලට වඩා වැඩි හෙයින් නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවටයි. කැනඩාවේ සමහර ප්‍රධාන නගරවල එම ප්‍රතිශතය 70% දක්වා ඉහළ නැග්ගා. මොවුන් ප්‍රකාශ කර සිටියේ පුද්ගල ඝාතනයන් සඳහා අනිවාර්යයෙන් මරණ දඬුවම ලබාදිය යුතු බවයි. මරණ දඬුවම අනවශ්‍ය යැයි ප්‍රකාශ කළේ 25%ක අල්ප පිරිසක් පමණයි…’

මේ ආකාරයට මෙම නවතම සමීක්ෂණය තුළින් කැනඩාවේ ජනතාවගේ ජනමතය පැහැදිලිව පෙන්වා තිබිණි. පසුගියදා කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුල ඝාතනය කෙරුණු සිද්ධිය ඇතිවූයේ එරට අගනුවර වන ඔටාවා නගරයට යම් සමීප දුරකින් පිහිටි නගරයකය. කැනඩාවේ ආරක්ෂක නිල දත්තවලට අනුව 2022 වසරේදී මුළුමහත් කැනඩාව තුළම මනුෂ්‍ය ඝාතන 874ක් සිදුව ඇත. මෙහිදී හෙළිවන සුවිශේෂ කරුණ නම් මෙම මුළු ප්‍රමාණයෙන් බහුතර ඝාතන සිදුව ඇත්තේ ඔටාවා අගනගරයේ නොව, කැනඩාවේ විශාලතම නගරය වශයෙන් සැලකෙන ටොරොන්ටෝ නගරයේය. එම නගරය තුළ පමණක් 2022 වසර තුළදී මනුෂ්‍ය ඝාතන 136ක් සිදුව ඇති අතර, එම සංඛ්‍යාව ඉහත දත්තයන්හි ඉහළින්ම පවතී. එසේ නම් ශ්‍රී ලාංකික පවුල ඝාතනයට ලක්වුණු අගනුවර වන ඔටාවාහි මිනිස් ඝාතන කීයක් සිදුව තිබේද? ශ්‍රී ලාංකික අප අවධානය යොමුකළ යුතු සුවිශේෂ කරුණ හෙළිවන්නේ මෙතැනදීය.


එනම් 2022 වසර තුළදී එම නගරය තුළ සිදුවූ සම්පූර්ණ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 15කි. එසේම ඉන් පෙර වසර 04ක පමණ දත්ත ගත් විටද පෙනී යන්නේ (2018-2021) ඝාතන 17කට අඩු ප්‍රමාණයක් සිදුව අති ආකාරයයි. මේ අනුව මුළුමහත් කැනේඩියානු ජනතාවගේ පැහැදිලි නිර්ණයක් වන්නේ ඔටාවා අගනුවර යනු බොහෝ සංගමයකින් යුත් ජනතාවක් සිටින බොහෝ ආකර්ෂාකාරී නගරයක් බවය.


පසුගියදා හය දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුල ශ්‍රී ලාංකිකයකු අතින්ම ඝාතනය වන විටදී කැනඩාවේ ජනතාව මහත් විස්මයට හා කනගාටුවට පත්වූයේද මේ හේතුව නිසාමය. එනම් කෙටියෙන් කිවහොත් ඔටාවා අගනගරයේ ජනතාවට මෙවැනි අපරාධ අත්දැකීමක් මින් පෙර ලැබී නැත.කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලාංකික පවුල ඝාතනය කිරීමේ සිද්ධිය කෙතරම් බැරෑරුම් එකක්ද යත් කැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ටෲඩෝ පවා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබිණි. මෙම සිදුවීමෙන් ඔහු මහත් කම්පනයට පත්ව සිටින ආකාරය දක්නට හැකි විය.


මේ වන විටත් කැනඩාවේ පමණක් නොව මුළුමහත් ලෝකයම මෙම අපරාධය හේතුවෙන් දැඩි කම්පාවකට පත්ව සිටියි. මෙම ම්ලේච්ඡ ඝාතනයේදී කුඩා දරුවන් හතරදෙනකු, ඔවුන්ගේ මව සහ එම පවුලේ තවත් හිතවතකුද මරණයට පත්විය. එම පවුලේ පියා වන 38 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ පමණක් තුවාල ලබා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. අපරාධය සිදුකළ 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා වන ෆේබි්‍රයෝ ද සොයිසා නමැත්තා කැනේඩියානු පොලිස් අත්අඩංගුවට පත්ව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සිදුවීමට අදාළ නඩුව නැවත විභාගයට ගැනෙන්නේ මාර්තු 14 වැනිදාය. එනම් මෙම ලිපිය ඔබට ලියැවෙන්නේ ඊට දින දෙකකට පෙරදීය.


මෙම ඝාතනයට පත්වූ අයගේ අවමංගල්‍ය කටයුතු පවා මෙතෙක් සිදුකර නැත. එම කටයුතුවලට ප්‍රථම ඝාතනයට ලක්වූ පවුලේ සමීප ඥාතීන් මෙන්ම අපරාධය සිදුකළ තරුණයාගේ පවුලේ ඥාතීන් කිහිප දෙනකුද කැනඩාවට ගෙන්වීම සඳහා කැනඩා රජය කටයුතු යොදමින් සිටියි. ඒ අතරම මෙම සංවේදී අවස්ථාවට එම පවුල්වල අයට උදව් උපකාර කිරීම සඳහා එරට සිටින ජනතාව අරමුදලක් අරම්භ කර ඇත. ඒ සඳහා මේ වන විටද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් (රුපියල් කෝටි 04කට අධික) එකතු වී ඇති බව පැවැසෙයි. එසේම මේ වන විට විශාල ජනතාවක් ඝාතනය සිදුවූ නිවෙස අසලට පැමිණ තම ශෝකය ප්‍රකාශ කරති.

මේ වන විට හෙළිව ඇති කරුණුවලින් ප්‍රකාශ වී ඇත්තේ ඝාතනය සිදුකළ තරුණයා ඝාතනයට ලක්වූ පවුලට බොහෝ සබඳකම් තිබූ අයෙක් බවය. එනම් ඔහු සමීප කාලයක සිට එම නිවෙසේ නවාතැන් ගෙන සිටි බවද පැවැසෙයි. මෙම තරුණයා ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණ ඇති අතර, මුලින්ම නවාතැන් ගෙන ඇත්තේ කැනඩාවේ ඔටාවා නුවර වාසය කරන තම නැන්දණියගේ නිවෙසේය. ඇය මෙම තරුණයාගේ පියාගේ බාල සොහොයුරියකි. ඉන් ටික කාලයකට පසුව නවාතැන් ගැනීම සඳහා ධනුෂ්ක වික්‍රමසිංහගේ නිවෙසට පැමිණ ඇත. මෙම බියකරු සිදුවීම සිදුවන්නේ එවැනි වටපිටාවකදීය. මෙම 19 හැවිරිදි තරුණයා බොහෝ අහිංසක, තැන්පත් අයකු බවට කරුණු ප්‍රකාශ වෙයි. එහෙත් පසුකාලීනව ඔහුගේ බොහෝ වෙනස්වීම් දක්නට ලැබුණු බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර ඇත. එනම් එම ඥාතීන් සමග තිබුණු සබඳතා බොහෝ දුරස් කරගැනීමට ඔහු කටයුතු කර ඇතැයි පැවැසෙයි.


තමන්ගේ ජංගම දුරකතන අංක වෙනස් කිරීම සහ අවහිර කිරීම මෙන්ම තමන්ගේ සමාජ ජාල සබඳතාවලින් ඉවත්ව සිටීම වැනි ක්‍රියාවන්ද ඔහු සිදුකර ඇත. මෙම ශ්‍රී ලාංකික තරුණයා ඉතා දරුණු ලෙස පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ අයකු බව පැවැසෙයි. ඔහු ඉතා උද්වේගකර සහ ප්‍රහාරක පරිගණක ක්‍රීඩා කිරීමට ඇල්මක් දක්වා ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එහෙයින් ඔහු තම දවසේ හෝරා ගණනාවක්ම මේ ක්‍රීඩාවන්හි නිරතව සිට ඇත. මෙම ක්‍රීඩා බොහෝ විට ජංගම දුරකතන හරහා සිදුකෙරෙන ඒවා නොව, පරිගණකය හරහා පුළුල් තිරයක් මත දිස්වෙන ඒවා බවද හෙළිව ඇත. එහිදී මෙම තරුණයා කාල වේලාවක් නැතිව එම ක්‍රීඩා සිදුකළ බවටද කරුණු හෙළිවෙයි.
gossip lanka