gossip lanka

"ටිකක් ඉදිරියට යනකොට Room කියලා ගහලා තිබුන හෝටලයකට හරවන්න කිව්වා.." ත්‍රීවිල් රියදුරෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන්!

සමහර අත්දැකීම තියනවා , ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති. මේකත් ඒ වගේ අපුරු සත්‍ය කතාවක්. 
ත්‍රීවිල් රියදුරෙකුගේ සත්‍ය සිදුවීමක උපුටා ගැනීමකින්..

 

 

" එදා කොළඹින් පිටට හයර් එකක් ලැබුණා..

මෘදුකාංගය හරහා ලැබුණ ඒ හයර් එක තරුණියකගෙන්..
ගම්පහ ප්‍රදේශයේ ඇයගේ මිතුරියකගේ නිවසට ගොස් නැවත එන්නට..
මම ඇයත් සමඟ ඒ ගමන යන්න පිටත් උනා..
මේ තරුණිය ටිකක් අමුතු කෙනෙක්...
හරී ලොකු සීන් එකෙන් කතා කලේ . .
හරියට එංගලන්තේ මහ රැජිනගේ දුව වගේ..
පට්ට ලොකු සීන් එකේ වාහනය ගෙන්න ගන්න කතා කලේ..
දෙපාරක් කල්පනා කරලා ගමන ආවේත් හොඳ හයර් එකක් නිසා..

කිසී කතාවක් නෑ එයා ෆෝන් එකේ යනවා මම මගේ පාඩුවේ යනවා..
රථයට ගොඩවෙන කෙනාගේ ලොකුකම් අපිට වැඩක් නැහැනේ.
ගම්පහට කිට්ටු සුපිරි වෙළඳසැලක ඇය නතර කරන්න කිව්වා..

" මිස් ගොඩක් පරක්කු වෙන්නේ නෑ නේද ? "
ස්ටොප් එකක් එතන නැති නිසා මම ඇහුවා..

" අවශ්‍ය බඩු වගයක් ගන්න යන්නේ, නිකන් කාලේ කන්න මේක ඇතුලට යන්නේ නෑනේ "
එහෙම කියාගෙන ඇය බැහැලා සුපිරි වෙළඳ සැළට ගියා..

ට හුඩු මේකී යකෝ...
වාහනෙයි මායි සල්ලි වලට අරන් වගේනේ..
මගේ කට නලියනවා මොනවා හරි කියන්න..
බස්සලා යන්නත් හිතුනා...
විනාඩි 15 ක් විතර ගියා, දැන් නම් මට පුදුම තරහක් එන්නේ..
ඒත් එක්කම ට්‍රොලියක බඩු ටික දාගෙන ඇය ආවා..
" මට පොඩ්ඩක් මේ බඩු ටික ඇතුලට දාලා දෙන්න "
එහෙම කියලා ආයේ ඇතුලට ගියා...
යකෝ මම මේකිගේ වහලෙක් වගේ පේනවද දන්නේ නෑ..
දැන් නම් ඉවසීමේ රතු කට්ට පැනලා..
ඉක්මනින් යන්න අවශ්‍ය නිසා මම ට්‍රොලියේ තිබුන බඩු ටික ත්‍රීවීලර් එකට දැම්මා..
වියලි ආහාර ද්‍රව්‍ය සහ බිස්කට් වැනි දේවල් තිබුනේ..
ඒත් සමඟම ඇය පැමිණ වාහනයට ගොඩ උනා..

" ආ මේක ඔයාට, ඩ්‍රයිව් කරන ගමන් බොන්න බැහැනේ බීලා යං "
එහෙම කියලා ඇය අත තිබුන ජූස් කප් දෙකෙන් එකක් මට දුන්නා..ඇය අනික බොන්න ගත්තා..
" බොහොම ස්තූතියි මිස් "

විලි ලැජ්ජාවේ සංතෝසේ බැරුව මම කිව්වා..

ඇය ලොකු සීන් උනාට මට ගෙනත් තිබුණ පළතුරු යුශ බීම එක සාමාන්‍යයෙන් රුපියල් හත් අටසීයක එකක් , ඒක ඇතුලේ මිදිත් තිබුනා..
මම එක උගුරට බීගෙන බීගෙන යන්න හැදුවට මේ වස්තරේ බටෙන් එන්නේ නෑ..අර මිදි කෑලී හිර වෙනවා...
කොහොම හරි ඒකත් බීලා අදාල ස්ථානයට ගියා..

" මිස් මෙතන ගොඩක් වෙලා ඉන්නවද " නිතරම එහෙම මම අහන්නේ, එක හයර් එකකින් දවස ඉවර උනාට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා..
" නවතින්න ආවේ නෑ මෙහේ ඒකයි අප් ඇන් ඩවුන් දැම්මේ ටිකක් වෙලා ඉන්න , ලෙඩෙක් බලන්න ආවේ තව ලෙඩෙක් එක්කනේ.."

එහෙම කියාගෙන ඇය ගෙට ගියා..

දැන් නම් ලෝකේ හොඳම බීම එක මට දුන්නත් ඉවසන්න අමාරුයි..

මේකීගේ පෙනුම සුරංගනාවියෙක් වගේ උනාට කට නම් තනිකරම මුඩුක්කු සීන් එකක් තමයි...
උපරිම ඉවසනවා කියලා හිතා ගත්තා..

වෙයිටින් වැටෙන්නේත් නෑ මේ මෘදුකාංග වල හරියට..
ඒකයි අවුල.....
හරියටම පැයක් ගියා...
මම කෝල් එකක් ගත්තා ඒක කට් කලා..
මම කියන්න හැදුවේ මට හයර් එක දෙන්න ඔයා වෙන එකක් දාගෙන එන්න කියලා...
ඒත් එක්කම ඇය බායී කියාගෙන ආවා..

" ඔයාලට වෙයිටින් වැටෙනවනේ පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.."
" මිස් හයර් එක බුක් කරනකොට ආව ගාන තියෙනවානේ ඒක ඔයාට මතකයිනේ..බලන්නකෝ එන්ඩ් කරනකොට ගාන වැඩි වෙලාද කියලා..

මෘදුකාංග ආයතන වල වෙයිටින් කියන්නේ මිරිඟුවක්.. අපි කීයක් හරි වැඩියෙන් ඉල්ලුවත් කස්ටමර් කියන්නේ පෙන්නන ගාන විතරයි ගෙවන්නේ කියලානේ..හැම පැත්තෙන්ම අපි තැලෙනවා මිස් ජීවත් වෙද්දි.."
මම එහෙම කියලා එන්න පිටත් උනා..

ඇය නිහඬව අහගෙන හිටියා මිසක් උත්තර දුන්නේ නෑ..
ඒ ගෙවල් පහු කරලා කිලෝ මීටර් දෙකක් විතර පටු මාර්ගයක අපි නැවත එන ගමන් ඉන්නේ..
එක් වරම අපිට ඉස්සරහින් ගිය යතුරුපැදියකට බල්ලෙක් ???? ගැටුනා..
යතුරුපැදි කරු සහ පිටුපස සිටි කාන්තාව උඩින් විසි උනා..
පාරේ අයිනේ ලොකු ඇල පාරක් ගලාගෙන යනවා ..
මම වහා රථය අයින් කරලා බැහැලා ඔවුන් ළඟට දිව්වා..
ත්‍රීරෝද රථයේ සිටි මගී තරුණියත් මාත් සමඟම දිව ආවා..
යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ මුහුණ පාරේ වැදිලා නහය කැඩිලා..
කාන්තාව අනේ මගේ දරුවා අනේ මගේ දරුවා කියලා අඬනවා.
මාත් සමඟ සිටි තරුණිය ඇයව නැගිට්ටුවා..
ඒත් සමඟම මට මතක් උනා යතුරුපැදිය බල්ලාගේ ???? ගැටෙන විටම යමක් ඇලට විසි උන බව..
දෙපාරක් නොසිතාම මම ඇළට පැන්නා..
කුඩා ඇළක් උනාට මගේ කර වටක් වතුර තිබුණා..
මම වතුරේ ගිලෙමින් ඒමේ අත දරුවා සොයනවා..
ඒත් එක්කම මගේ ඇස ගැටුනා ගල් තලාවේ කෙලවර වතුර ගෑවෙන නොගෑවෙන මට්ටමේ අලුත උපන් බිළිදුන් දමාගෙන යන ආවරණයක් තියෙනවා..
මම ටක් ගාලා පීනාගෙන එතනට ගියා..
අනේ ඉපදිලා මාස කීපයක කිරිකැටි දරුවෙකු ඒ තුල සුවසේ නිදාගෙන ඉන්නවා...
කිසීම තුවාලයක් නෑ අර ආවරණයත් එක්කම ලොකු ගල්තලාවට වැටිලා..
හුස්ම ගන්නවා ...
ලොකු ගල් ගෙඩි අස්සෙන් වැටිලා තියෙන්නේ මගේ හිතට බයයි..
මම ටක් ගාලා ඒ ආවරණය පිටින්ම දරුවා වඩා ගත්තා...
පාරේ උඩ ඉදන් අර තරුණිය සහ අනතුරට පත් කාන්තාව කෑගහනවා..
බලපුවහම එහා පැත්තේ කිඹුලෙක් තරම් ලොකු කබරගොයෙක්..
ඒකා මොකක් හරි ගොදුරක් ගිලලා හෙල්ලෙන්නේ වත් නෑ..
මම වතුරේ අමාරුවෙන් දරුවා හිසට ඉහලින් ඉහලින් ඔසවාගෙන ගොඩට රැගෙන ගියා..
අර කාන්තාව දරුවා බදාගෙන අඬනවා..
පිරිමි කෙනාගේ මුහුණ වැහෙන්න ලේ ගලනවා..
ඒත් සමඟම එතනට සුදු වෑන් රථයක් ආවා ඒකේ හිටියේ හාමුදුරුනමක් ..
ඒ හාමුදුරුවෝ තුවාල සහිතව සිටි පිරිමි කෙනා කාන්තාව සහ අත දරුවා වෑන් රථයට දමාගෙන ගම්පහ රෝහල වෙත රැගෙන ගියා..
මම තෙත පිටින්ම රථයට ගොඩ උනා අර තරුණිය එතැන් සිට අනතුර ගැන කතා කරමින් මද දුරක් ආවා..

" අපි හොස්පිට්ල් එකට යමුද අර බබා ගැන මගේ හිත බයයි "
අර තරුණිය ඇසුවා...

" මමටත් ඒක ඕනේ උනා ඒත් මිස් අකමැති වෙයි කියලා ඇහුවේ නෑ..."
" පිස්සුද අපි සේරම මිනිස්සු..අපි යමු හොස්පිට්ල් එකට.."
මම එහෙමම ගම්පහ රෝහල වෙත ගියා..
අර හාමුදුරුවෝ සහ වෑන් රථය පේන්න තිබුනේ නෑ.
මම තෙත බරිතව සිටි නිසා ඇය රෝහල තුලට ගියා..
ටිකකින් ඇය නැවත ආවා..
" බය වෙන්න දෙයක් නෑ දරුවාට මොකුත් නෑ..,
දරුවාගේ අම්මටත් ලොකු අවුලක් නෑ..
තාත්තාව නම් ඇතුලට අරගෙන තිබුණා.. "
ඇය කිව්වා..
අපි එහෙනම් යමු මිස්..
තාමත් මගේ ඇඟේ වතුර දිය සෙවල කෑලී ඇඟ පුරාම..

දැන් මොනවා කරන්නද මෙයාවත් බස්සාගෙනම ගෙදර යනවා..
" පොඩ්ඩක් අර කඩේ ළඟ නතර කරන්න...."
ගම්පහ සුපිරි නිමි ඇඳුම් සංකීර්ණයක් පෙන්වා ඇය කිව්වා.
අනේ දෙයියනේ මෙච්චර තෙත බරිත වෙලා ඉන්න මාව තවත් මඩවන්නද හදන්නේ මේකී..
යකෝ ශොපින් කරන්න ඕනේ තරම් කඩ කොළඹ තියෙනවා නේ..
" අනේ මිස් තෙමිලා ඉන්නේ හොඳටම ඉක්මනට එනවා නේද "
මම රථගාලේ රථය නතර කරන ගමන් ඇසුවා..
" මම කිව්වේ නෑනේ වතුරට පනින්න කියලා "
එහෙම කියාගෙන ඇය ඇතුලට ගියා..
ඇත්තටම මේ තරුණිය මහා අමානුෂීය තරුණියක්..
මට පුදුම තරහක් තියෙන්නේ..
විනාඩි 10 ක් වගේ යනකොට ඇය ඇඳුම් උරයක් සමඟ රථයට ආව..
"තව එක තැනක නතර කරන්න තියෙනවා ඊට පස්සේ කෙලුන්ම ලොකේශන් එකට යමු "
ඇය කිව්වා..
දිගු සුසුමක් හෙලලා මම නිහඬවම ඉදිරියට ගමන් කළේ මගෙත් කට හොද නැති නිසා.
තව මොනවා හරි කියවෙයි කියලා..
ටිකක් ඉදිරියට යනකොට Room කියලා ගහලා තිබුන හෝටලයකට හරවන්න කිව්වා..
මම හරවලා නතර කලා..
ඇය ඇතුලට ගියා..
ටිකකින් තරුණයෙකු සමඟ ඇය ආවා..

" මෙයා ඔයාට වොශ් රූම් එකක් පෙන්නයි,ඒකට ගිනින් නාගෙන මේ ඇදුම් ඇදගන්න.මම පේ කරලා තියෙන්නේ.."
ඇය එහෙම කිව්වේ අර වෙළදසැලෙන් ගත් ඇදුම් උරය මට දෙන ගමන්..
මම ස්තූතියී මිස් කියලා ඒක අරගෙන එනකොට ඇය සිනා මුසු මුහුණින් මට කිව්වේ " ඉක්මන් කරන්න මට පරක්කු වෙනවා" කියලා..
මම වොශ් රූම් එකට ගිහින් අර උරය බැලුවා..

ඒක ඇතුලේ ඩෙනිම් කලිසමක් සහ ලස්සන ෂර්ට් ???? එකක් වගේම සුදු පැහැති යට කලිසමක් සහ කුඩා ෂැම්පු බෝතලයක් බොඩි ෂැම්පු එකක් වගේම සුවඳවිලවුන් බෝතලයකුත් තුවායකුත් තිබුනා..
එහි වටිනාකම රුපියල් 10,000ට විතර ආසන්නයි..

මතක ඇති කාලෙකින් ඇඳුමක් වත් ගත්තේ නැති මට හීනයක් වගේ මේක..
මම නාන ගමන් මම ගැනම පසුතැවිලි උනා....
නාගෙන ඇඳුම් ඇඳගෙන මම එනකන් ඇය ත්‍රීරෝද රථයට වෙලා හිටියා..
විශේෂම දේ ඇයට මගේ සයිස් එක ගැන හොඳ අවබෝධයක් තිබුනා..ඇදුම් හරි ගානටම අරන් , හරි පුදුමයී.
අපි නැවත කොළඹ බලා එනකන් ඇය මාත් සමඟ වචනයක් වත් කතා කලේ නෑ..
ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් දුරකථන ඇමතුමක හිටියේ..
ගේ ළගින් බැහැලා රුපියල් 10,000 ක මුදලක් මගේ අතින් තියලා , මේක තියාගන්න කිව්වා..
" අනේ මිස් හයර් එක එච්චර ගානක් වෙන්නේ නෑනේ.අනික මිස් මට අරන් දුන්න මේ දේවල් වලටත් ලොකු ගාණක් වෙනවනේ..එහෙම එපා මිස්.. "
" ඔයා ඔයා ගැන වත් හිතන්නේ නැතිව අර ඇළකට පැනලා කුඩා දරුවෙක් බේරාගත්තා..අනික අපි කුලී රථයක් බුක් කරන්නේ අපිට අවශ්‍ය විදිහට ගමනක් යන්න..ඒකට සාදාරණයක් කරන්න අපි දන්නවා..සමහරු එහෙම නැතිව ඇති ඒත් හැමෝම එහෙම නෑ..ඕක මම දෙන්නේ මගේ සතුටින්.
ඔයා වගේ රියදුරන් හරී අඩුයි.."

" මට සමාවෙන්න මිස් , මම මිස් එක්ක තරහින් හිටියේ ඇත්තටම..බොහෝම ස්තූතියී හැම දේකටම"
" මම ඒක දන්නවා,ඒකයි මම ටිකක් ඇවිස්සුවේ..මමත් ආසයි ඒකට .. එහෙනම් මම යනවා බායී.."
එහෙම කියාගෙන ඇය ඇතුලට ගියා...
අපිට ජීවිතයේ හමුවෙන සමහර සුන්දර චරිත තියෙනවා , අපේ වැරදි නිගමන නිසා ඒ සුන්දරත්වය නොපෙනෙන..
එදා ඉදන් අද දක්වාම මම ඇය නැවත මට හමු උනේත් නෑ....
තාමත් ඒ හරියෙන් හයර් එකක් යනකොට ඒ විසල් නිවස දිහා බැලෙන්නේම ඇයගෙන් හයර් එකක් ලැබෙයි කියලා හිතිලා..


තවත් එක් ත්‍රීරෝද රථ රියදුරෙකුගේ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ,
සටහන ✍️ ටැක්සිකාරයාගේ දින පොත "
gossip lanka