gossip lanka

විනාඩි 08කින් රෝහලට ගෙන ගියා නම් නිරෝෂන්ව බේරගන්න බැරි වුණේ ඇයි?

කැලණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක රැඳී සිටි සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු අපස්මාරය රෝගයට ලක්වී පසුගියදා (24) රාත්‍රි මියයෑමත් සමග එම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට පහසුකම් සැපයීමට විශ්වවිද්‍යාල පරිපාලනය අසමත් වූ බවට චෝදනා කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පෙරේදා (25) දහවල් විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවීම නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි නිරෝෂන් ලක්මාල් නමැති ශිෂ්‍යයෙකි.

ඔහු තවත් මාස දෙකකින් සරසවි අධ්‍යාපනය අවසන් කිරීමට නියමිතව සිටි අතර කලක සිට අපස්මාර රෝගයෙන් පෙළී ඇති ඔහු එම රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පෙරේදා රාත්‍රී 11.00 ට පමණ කැලණිය සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයේ රැඳී සිටියදී මෙම සිසුවාට අපස්මාර රෝගය වැළඳී බරපතළ තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ වාහනයක් ලබාගැනීමට සෙසු ශිෂ්‍යයන්, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂවරයාට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබාගෙන ඇත.

එහෙත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක් වූ බව මහා ශිෂ්‍ය සංගමයේ සිව්වන වසරේ කණ්ඩායම් නායක කසුන් දේවප්‍රිය පුවත්පතකට පවසා තිබෙනවා.

පසුව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු මාර්ගයෙන් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂවරයා දැනුවත්කර වාහනයක් ගෙන්වාගත් නමුත් ඒ වන විට මිනිත්තු 30 ක් පමණ ගත වී තිබුණු බව ද ඔහු පවසයි.

එසේ ප්‍රමාද වී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළ ශිෂ්‍යයා ඒ වන විටත් මියගොස් සිටි බව පැවසූ ඔහු නිසි වේලාවට රෝගී සිසුවා රෝහලට රැගෙන ගියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණු බව ද සඳහන් කර ඇත.

‘අවුරුදු 20 ක ඉඳලා අපි කැම්පස් එකට ගිලන් රථයක් ඉල්ලනවා. ගිලන් රථයක් තිබුණා නම් ශිෂ්‍යයාව බේරාගන්න තිබුණා. මේ තරම් ළමයි ගොඩක් ඉන්න කැම්පස් එකට ගිලන් රථයක් නැතිවීම ලැජ්ජාවක්. අපි කියන්නේ ඉස්සෙල්ලාම කැම්පස් එකට ගිලන් රථයක් ලබා දෙන්න කියලා. කෝටි ගණන් සල්ලි වියදම් කරලා පාලකයන්ට වාහන ගෙන්වන රටේ ලක්‍ෂ ගාණක් ශිෂ්‍යයෝ ඉන්න විශ්වවිද්‍යාලවලට ගිලන් රථය බැගින් අරන් දෙන්න බැරි නම් මොකක්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ. අපි පාලකයන්ට තරයේම කියා සිටිනවා විශ්වවිද්‍යාලවල පහසුකම් නැතිකම නිසා මියගිය අවසන් සිසුවා බවට නිරෝෂන් පත්විය යුතුයි. එසේ නොවුණොත් සියලු විශ්ව විද්‍යාලවල පහසුකම් සම්පූර්ණ කරන තුරු අපි අඛණ්ඩ අරගලයක් ආරම්භ කරනවා” යැයි ද සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම ශිෂ්‍ය චෝදනාව සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ආචාර්ය කසුන් ප්‍රනාන්දු කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැඳීසිටින උප ශාලාධිපතිවරයා දනුවත් කර මිනිත්තු තුනක් ඇතුළත විශ්ව විද්‍යාලයේ වාහනයක් නිදහස් කළ බවත් සිද්ධිය දැනුම් දී මිනිත්තු අටක් තුළ රෝගී සිසුවා කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගොස් ඇති බවත්ය.

මෙම ශිෂ්‍යයා රැඳී සිට ඇත්තේ සිව්ම මහල් නේවාසිකාගාරයක වන අතර, සිව්වන මහලේ සිට සිසුවා පහළට රැගෙන එන විටත් ඔහුගේ ශරීරය සුදුමැලි වී තිබුණු බව ආරක්ෂක අංශය දැන්වූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයට පහසුකම් සහිත ගිලන් රථයක අවශ්‍යතාව තමාද පිළිගන්නා බව පවසා ඇති ආචාර්ය කසුන් ප්‍රනාන්දු, මේ වන විටත් ඒ පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව ද පවසා ඇත.

එසේම මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා රැස්වූ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ගිලන්රථයක් කඩිනමින් මිලදී ගැනීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා නිවේදනය කර තිබෙනවා.

තවද මෙම සිදුවීමේදී විශ්වවිද්‍යාල වෑන් රථය පැමිණීමේදී ප්‍රමාදයක් සිදුවූවා දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
gossip lanka