අද (04) දින අලුයම ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 සජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදී තිබෙනවා.
ඒ, ඇය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.
22 හැවිරිදි ඇය ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ තරුණියක් වන අතර ඇය සිය මිතුරියක සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත.
එම තරුණිය අද (04) දින අලුයම 01.55 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.
එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු , ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මෙම සජීවී පතුරම සොයා ගැනුනා.
අනතුරුව මෙම තරුණිය , මෙම පතුරම ද සමඟ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදෙනු ලැබුවා.
ඒ, අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට්ගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර මෙම තරුණිය සමඟ ඇය විසින් රැගෙන යාමට තැත් කළ සජීවී පතුරම අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.