gossip lanka

ෆ්‍රී වීසා ඇවිත් මෙහෙ ගණිකා වෘත්තියේ යෙදෙන රුසියානු කතුන් ප්‍රශ්නයක් වෙලා!

වීසා රහිතව රටට ප්‍රවේශවීමට අවසර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් පසු මෙරටට පැමිණි ඇතැම් රුසියානු සංචාරක කාන්තාවන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ගණිකා වෘත්තිය වැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

වීසා රහිතව රටට ප්‍රවේශවීමට අවසර දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු විශේෂයෙන් ඉන්දියාව, චීනය සහ රුසියාව වැනි රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ පසුගිය වසරේ දේශපාලන අර්බුදයෙන් පසු දැඩි පසුබෑමකට ලක් වූ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රුසියාව ඇතුළු රටවල් හතක සංචාරකයන් සඳහා වීසා රහිතව ප්‍රවේශවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තීරණය කළේය.

කෙසේවෙතත්, මෙම වැඩසටහන නීතිවිරෝධී අරමුණු සඳහා ඇතැම් පුද්ගලයන් භාවිත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කණස්සල්ලක් මතු වී තිබේ.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන සංචාරක පැමිණීම් ඉහළ ගොස් ඇති අතර, පෙර වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේ දී සංචාරකයන්ගේ පැමිණීම සියයට 103ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ.

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 208,253කි.

සංචාරකයන් 34,399ක් සමඟ ඉන්දියාව ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇති අතර සංචාරකයන් 31,159ක් සමග රුසියාව දෙවැනි ස්ථානයේ සිටී.

ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන්ගෙන් කොටසක් විශේෂයෙන් කොළඹ වැනි ප්‍රදේශවල සහ ඇතැම් තරු පන්තියේ හෝටල්වල ගණිකා වෘත්තියේ යෙදී සිටින බව මේ වන විට හෙළි වී ඇත.

බොහෝ සංචාරකයන් රාත්‍රී සමාජශාලා, හෝටල්වල ඇතැම් නියෝජිතයන් සහ දැනටමත් කර්මාන්තයේ නියැලෙන කාන්තාවන් හරහා සහකරුවන් සොයා ගන්නා බව නිරීක්ෂණය වී ඇත.

මෙම තත්ත්වය වාර්තා වන්නේ ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙරට කාන්තාවන් ද වැඩි වශයෙන් ගණිකා වෘත්තියේ නියැලීමට පෙළඹෙන පසුබිමකය.

සමහර දේශීය වෙබ් අඩවි රුසියානු කාන්තාවන් සඳහා ගාස්තු සහ කොන්දේසි සඳහන් කරමින් මෙම සේවාවන් විවෘතව ප්‍රචාරණය කරන අතර සාමාන්‍යයෙන් පැයකට ගාස්තුව ලෙස රුපියල් 15,000 සිට 45,000 දක්වා මිල ගණන් දක්වා තිබේ.

රුසියානු ගණිකාවන්ගේ මෙම සේවාවන් මූලික වශයෙන් විශේෂ වැදගත්කමකින් යුතු (VIP සහ VVIP) පාරිභෝගිකයන් ඉලක්ක කර ඇත.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ද මෙම ගැටලුව විසඳීමේදී බලධාරීන් මුහුණ දෙන සංකීර්ණතා පිළිගත්තේය.

“අපි රුසියාව ඇතුළු රටවල් හතක සංචාරකයන්ට වීසා රහිතව මෙරටට පැමිණීමට අවසර දී තිබෙනවා. අපි මෙම සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දින 30ක රැඳී සිටීම පමණයි ලබා දෙන්නේ. නමුත් සමහර සංචාරකයන් මෙම කාලසීමාව ඉක්මවා ගොස් ඉඳලා පිටත්ව ගිහින් ආපසු පැමිණෙනවා. අපට කළ හැක්කේ අත්අඩංගුවට ගැනීම පමණයි. සංචාරකයන් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන්නේ නම් ඒ සඳහා ක්‍රියාමාර්ග ගතහැකි තොරතුරු අවශ්‍ය වනවා. මේ වන විට නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංචාරකයන් හඳුනාගෙන පිටුවහල් කිරීමට අපි දකුණේ ගුවන් හමුදා බුද්ධි අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. කෙසේවෙතත් සංචාරකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේදී අපි අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන් කොළඹ සහ තරු පන්තියේ හෝටල්වල නවාතැන් ගන්න අය,” ඔහු පැවසීය.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ව්‍යාපාරවල නිරත වන සංචාරකයන් හඳුනාගැනීම සඳහා නිලධාරීන් විසින් දකුණු ප්‍රදේශවල වැටලීම් කිහිපයක් සිදු කර ඇති බව ඔහු පැවසීය.

සංචාරකයන් ගණිකා වෘත්තිය වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන අවස්ථා හුදකලා සිදුවීම් ලෙස සළකන අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම අභියෝගාත්මක බව පාලක ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ගණිකා වෘත්තිය ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන සංචාරකයන් සොයා ගැනීමේ උත්සාහයන් වැඩි කරන ලෙස බුද්ධි අංශයට දැනුම්දීමට සැලසුම් කර ඇති බව ද ඔහු තහවුරු කළේය.

මේ අතර අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් ගණිකා වෘත්තියේ යෙදීම වැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරත සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන වැටලීම් ප්‍රමාණය අඩු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
gossip lanka