gossip lanka

ලී කොටයකින් ඇන අම්මා මරන්න ගිය නරුම පුතා තාත්තා අතින් මරුට! 29 හැවිරිදි පුතා මතට ලොල් වී නිතරම කරදර කරලා!

සිය මවට උල් ලී කොටයකින් පහර දීමට ගිය අවස්ථාවේදී පියා පිහියකින් උදරයට ඇනීමෙන් පුතා ඊයේ (12) අලුයම ඝාතනය වී ඇතැයි අරණායක පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අරණායක පොලිස් වසමේ දූල්දෙනිය පූජාපොකුණ ග්‍රාමයේ පදිංචිව සිටි 29 හැවිරිදි අඹගහවත්තලාගේ අමිත් ප්‍රසාද් හේමචන්ද්‍ර නමැති එක්දරු පියෙක්.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාට වැඩිමහල් සහෝදරයෙක් හා බාල සහෝදරයෙක් සිටින අතර වැඩිමහල් සහෝදරයා වෙනම පදිංචිව සිටින බවත් බාල සහෝදරයා යුද හමුදාවේ සේවය කරන බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පහරදීම් හා හිරිහැර ඉවසා දරාගත නොහැකිව මෙම පුද්ගලයාගේ බිරිය කලකට ඉහතදී දරුවා ද රැගෙන මවුපියන් පදිංචිව සිටින මුල්ලේරියාව නිවෙසට ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිට ඇති මියගිය පුද්ගලයා කලක සිට මවුපියන්ට හිරිහැර සිදු කරන බවත් පෙරේදා (11) සවස සිටම මවුපියන් සමඟ අඩදබර සිදු කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පසුව රාත්‍රියේ නිවෙසේ තිබුණු බඩු මුට්ටුවලට පහර දී සියල්ල පොඩි කර දමා මවට උල සහිත ලී කොටයකින් පහර දී ඝාතනය කිරීමට ගිය අවස්ථාවේදී මව අසල්වැසි නිවෙසකට දිව ගොස් දිවි බේරා ගැනීමට උත්සහ දරා තිබෙනවා.

පසුව එම නිවෙස වසා දමා තිබූ බැවින් යළිත් කන්ද උඩ දෙසට දිව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අවස්ථාවේ මියගිය තැනැත්තා මව පසුපස පන්නා උල් කොටයෙන් පහර දීමට උත්සාහ දැරූ අවස්ථාවේ පියා ද පිටුපසින් දිව ගොස් පුතාගේ උදරයට පිහියකින් ඇන තිබෙනවා.

අරණායක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තුවාලකරු අරණායක රෝහලට ඊයේ (12) අලුයම ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

ඝාතනය සම්බන්ධයෙන් අරණායක පොලිසිය මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ගලගම සමරසේකර මහතා සිද්ධිය වූ ස්ථානයට හා දේහය තැන්පත් කර තිබුණු අරණායක ⁣රෝහලට ගොස් විමර්ශන සිදු කළා.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව සමඟ සැකකාර පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරුණා.

දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) කෑගල්ල මහ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

අරණායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ.වී.සී. හරිස්චන්ද්‍ර, පොලිස් සැරයන් ඒ.වී. දයානන්ද (32341), කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය යන අය විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
gossip lanka