gossip lanka

"මට ඔයාලා ඔක්කොම ඕනේ..." - කතුන් තිදෙනෙකු එක්ක දීග කෑ තරුණයා, සිව් වැනි තරුණියගේ පියා නිසා කොටුවේ!

කාන්තාවන් තිදෙනකු රවටා විවාහ කරගෙන සිටිය දී තවත් තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු දී ඇයගේ පියාගේ කාර් රථය රැගෙන ගිය තිස් හතර හැවිරිදි පුද්ගලයකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ නියෝග කළේය.

දඹගිරිගම, නාරම්මල ලිපිනයේ පදිංචි ඩී.එම්. කසුන් දිසානායක හා ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් යන නම්වලින් පෙනී සිට ඇති එම සැකකරු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා ටොයෝටා වර්ගයේ කාර් රථයක් මෙසේ රැගෙන ගොස් ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක හෙදි තරුණියකගේ පියාගේ මෝටර් රථයක් සැකකරු මෙසේ රැගෙන ගොස් ඇතැයි වංචා විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

කාන්තාවන් තිදෙනෙකු රවටා ඔවුන් සමග විවාහ ජීවිත ගත කරන සැකකරුට එරෙහිව තවත් නඩු රැසක් අධිකරණයේ පවතින බවත් පෑලියිගොඩ, වරාගොඩ වත්තල යන ප්‍රදේශවල කාන්තාවන් රවටා විවාහ කරගෙන ඇති බව ද වංචා විමර්ශන අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබූ බවත් ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථන සිම්පත් 31ක් සොයාගෙන ඇති බවත් වංචා විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරන බව කී වංචා විමර්ශන අංශය27 වැනිදා තවත් නඩුවක් සඳහා ගම්පහ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කරමින් සැකකරු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
gossip lanka