'කසුන් මහේන්ද්‍ර හීනටිගල'ව ගොඩක් දෙනෙක් දැන අඳුනන්නෙ 'මාධවී වත්සලා'ගේ පෙම්වතා ලෙස වුණත්, සත්‍ය වශයෙන් ම ඔහු ජනප්‍රිය 'කතාකරුවෙක්' මෙන්ම 'පද රචකයෙක්' ද වනවා.
අතිශය ජනප්‍රිය 'සූර්යා'ගේ 'මගේනේ' ගීතයේ 'නිබන්ධකයා' ද ඔහු යි.
මේ වන විට 'ධරණී' පුවත්පතට අපූරු 'ලිපි මාලාවක්' ලියන 'කසුන්', පසුගිය දිනෙක ඔහුට වඩාත් 'සමීප' පිරිසක් ගැන මේ විදිහට 'අකුරු අමුණලා' තිබුණා.
මේ තියෙන්නෙ ඒ ලිපිය...
'මිනිසාගේ හොඳ ම හිතවතා බල්ලා ය ' කියා යෙදුමක් අපේ ජන වහරේ හමුවේ. මගේ ජීවිතයට එම යෙදුම ගැළපූ විට මගේ හොඳ ම හිතවතා වූයේ බල්ලා නොව 'පූසා'ය. අද මතක පුරාණය දිග හැරෙන්නේ මා හා හුස්ම ගත් මිනිසුන් ගැන නොව පූසන් ගැන ය. ඒත් ඊට මඳකට පෙරාතුව මගේ ජීවිතයේ මට හමුවූ අමරණීය බල්ලෙකු ගැන කියන්නම ඕනෑ ය.
මා බොහෝ කුඩා කාලයේදී මතක හැටියට එක වසරේ පමණ ඉද්දී ලොකු අම්මලාගේ නිවසේ 'පිංකි' නම් සුරතල් බලු පැටවෙක් සිටියේ ය. පිංකි හිම මෙන් සුදෝ සුදු පැහැති පැටවෙකු බව තාමත් මට යාන්තමට මතක ය.
එකල මා අම්මා සමඟ ලොකු අම්මලාගේ නිවසට යන හැම මොහොතක ම වාගේ පිංකි අප හා හුරතල් දඟ පාන්නේය. සමහර දිනවල පිංකිව බැලීම සඳහාම එහේ යන දවස් මා හට තිබුණි. අප හා අවංක ප්‍රේමයෙන් හුන් මේ පිංකි අනේ අකාලයේ මිය ඇදුණි. මා එදා හැඬුවේ නැත. ඔහොම ටික කාලයක් ගෙවුණු තැන කුඩා මම අපූරු වැඩක් කළෙමි.
කඩදාසි කොළ කිහිපයක් ගෙන චූටි අතින් චූටි ඇඟිලි තුඩගින් පැන්සලකින් මා කතාවක් ලියා තිබේ. එය ම'විසින් නම් කරන ලද්දේ ' පිංකිගේ කතාව ' කියා ය. එක වසරේ දරුවෙකුගේ අව්‍යාජ අකුරින් සුදු කඩදාසි පිටු මත පිංකිගේ ආදරය එසේ රැඳුණි. එය මා ලියා ඇත්තේ ම'විසින් ම අඳින ලද රූ සිත්තම් ද සහිතව ය.
එසේ කර එය ද ප්‍රමාණවත් නොවුණු තැන ' අම්මෙ මට මේක අච්චු ගහලා කතාපොතක් කරන්න ඕනේ ' කියා මා අම්මාට ඇවිටිලි කර තිබේ. අම්මා මගේ පුංචි සිත වත්තම් කිරීමට අපේ ගමේ තිබූ මුද්‍රණාලයකට මා කැටුව ගොස් එය කිරීමට හැකිදැයි බැලූ සැටි මට හොඳින් මතකය. කෙසේ හෝ එය මුද්‍රණය වූයේ නැත. නමුත් අම්මා ගෙදර විත් ස්ටේප්ලර් ගසා කුඩා පොත් පිංචක් හැටියට මා ලියූ පිංකිගේ කතාව මා ඉදිරියේ තැබීය. එහි පිටකවරයේ වූ බලු පැටවාගේ සිතුවම යටින් ' පිංකිගේ කතාව - කසුන් මහේන්ද්‍ර ' කියා සනිටුහන්ව තිබුණි.
මගේ දිවියේ මා ලියූ , පවුලේ අය හැර කිසිවෙක් නොකියවූ ඒ මගේ ප්‍රථම 'නිල නොලත් කෘතිය' තවමත් අම්මා ළඟ සුරක්ෂිත ය.
අපේ මහගෙදර කිසිදා නිත්‍ය බලු පැටවෙකු සිට නැත. ඒ වෙනුවට ජීවිත කාලය පුරාම මට මුණගැසෙන්නේ පූසන් ය. පූසන් යනු මට අනුව මෙලොව සිටිනා ආතල් ම සත්ව කොට්ඨාසය යි. නයිල් නිම්න ශිෂ්ටාචාර සමයේ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල පූසා යනු දේවත්වයට පත් වූ වන්දනීය සත්වයෙකි.
තම ජීවිතයෙන් බොහෝ කාලයක් නිද්‍රාශීලීව උන්නත් අවදිව සිටින කාලය තුළ පූසෙකු තරම් නිවසක් 'ගෘහයක්' කරනා වෙනත් ළබැඳියෙකු මා දන්නේ නැත. පූසන් ගැන මතකයේ දී මුලින්ම මට හමුවන්නේ අමුතුම පූසියකි. මේ බැළලිය කොහොම අපේ නිවසට ආවාද යන්න මට මතකයක් නැත. යම් විටෙක බත් කටක් කෑමට පැමිණ අවසානයේ ඌ නිවැසියෙකු වූවා වෙන්නට පුළුවන.
මේ පූසී කුඩා මගේ කකුලේ දැවටෙමින් උම්මා දෙමින් උගේ පිට කසාගනිමින් අතිශය සෙනෙහෙවන්තකම් පෑ එකියකි. කුඩා මම මේ පූසීට නමක් දැමුවෙමි. 'පුන්නා උම්මංගි' ඒ මා දැමූ නමයි. ඒ නමේ තේරුමක් නැත. තේරුමක් නැති බොහෝ දෑ වල තේරුමක් ඇත !
කෙසේ හෝ පුන්නාට මා එසේ අමුතුම නමක් දමා ඌ හා කෙළිදෙළෙන් පසුවුණෙමි. මා පාසල් නිමවී අම්මාගේ අතේ එල්ලී ගෙදරට එද්දී පුන්නා දිනපතා පෙරමඟ බලන්නී ය. මිනිසුන් කාල වේලාවට වැඩ නොකළාට ඒ සත්වයා මා නිවසට එන වේලාව හරියට ම දැන හුන්නේ ය. මා ශිෂ්‍යත්ව විභාගය කරනා තෙක්ම පුන්නා උම්මංගී උම්මා දෙමින් අපේ පාළුව කාන්සිය මැකුවාය.
පුන්නාගේ සැබෑ ප්‍රේමවන්තයා හරියට ම කවුරුන්දැයි නොදත්තත් ඈ පැටවෙක් දෙන්නෙක් වැදුවාය. ඒ පැටවුන්ට එක්කෝ මා නම් දැමුවේ නැත. එක්කෝ දැමූ නම් දැන් මතක නැත. උනුන් පුන්නා තරම් ළෙන්ගතු නොවුණු කුසීත පූසන් විය. ඉන්පසු නව යොවුන් වියේ දී තවත් මතක හිටින පූසියක් අපේ නිවසේ විසීය. උගේ නම 'බන්ටී'ය. බන්ටී බන්ඩි ගෙඩියක් මෙන් හැඩැති පූසියකි. ඈ පුන්නාගේ නැවත උපතක් මෙනි. මට පණ ඇරලා ය.
මා උසස් පෙළ විභාගයට මුහුණ දීමට පාඩම් කරමින් නිදිවරන රාත්‍රීන්වල බන්ටී සිටින්නේම මා අසල ය. හිටි හැටියේ ඈට නින්ද යයි. එකදිගට නිදිවරා මොහොතකට හෝ මගේ ඇස් පියවුණොත් මේකා මගේ කකුලේ වෙලෙයි. මා ඇහැරවයි. ඒ හිතුවක්කාර පෙම්වතියක මෙනි. එවැනි පූසන් යනු ඉන්ද්‍රජාලික සත්වයන් බව දන්නේ උනුන් හා සන්නිවේදනය කරනා භාෂාව දන්නෝ ය.
බන්ටී හැඩකාර බැවින් ඈ පසුපස ආ පූස් මනමාලයන් බොහෝ ය. බන්ටි මනමාලි බැලීමට එන මුවාවෙන් කුස්සියේ තිබෙන මස් මාළු සොරා කන එකෙකු ද , ඈත සිට බන්ටි දෙස බලමින් ආලිංගන හෙළනා අවිහිංසක පූස් තඩියෙකු ද ඒ අතරේ ප්‍රමුඛ විය. ඔන්නොය කාගෙන් හෝ අවසානයේ බන්ටී පූස් දරුවන් තිදෙනෙකුට වරින් වර අම්මා වූවා ය. පළමුව 'සුද්දා' නම් වූ පිරිමි පූසෙකු බිහිකළ ඈ තවත් පිරිමි උපතක් ලෙසින් 'බඹරා'ව වැදුවා ය. සුද්දා අතිශය ආඩම්බරකාරයෙකි. ඌ කිසිසේත්ම හුරතලයට කැමති නොවූයේ ය.
බඹරාට වූයේ මරු වැඩකි. මේකා උපන් මොහොතේ පටන් අන් පූසන්ට වඩා අමුතුම ආකාරයේ වෙනසක් දිස්වන්නට වූයේ ය. නැට්ට වැල්ලේ කැරකෙන බඹරයක් මෙන් දඟර ගැසී තිබූ බැවින් ද , සමේ පැහැය සේ ම සුසිනිඳු ගතිය අනෙකුන්ට වඩා වැඩි බැවින් ද මිනිහා උන්නේ උපන් දා පටන් රාජකීය ලීලාවෙනි. අපේ නිවස අසල තවත් නිවසක හුන් පර්සියානු වර්ගයේ පොෂ් පූස් පියෙකුට දාව ලද උපතක් ද මේ කියා අපි සැක සිතුවෙමු. ඒ කොහොම වුව බඹරා හැසිරුණේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ආඩම්බර ළමිස්සියාකාරයෙනි.
මා විහිළුවට මෙන් අර දඟර වලිගය පිරිමදින විටත් , උගේ බඩ මැද කිතිකවන විටත් බඹරා ' ඇයි මොකෝ ' අසන්නාක් සේ ඇඟ ගස්සා උද්දච්ච වෙයි. බඹරා අසලින් මීයෙකු නිකමට වාගේ ගියත් යටත් කරගන්නවා තියා ඌ ඒ මීයාට කෝචොක් කිරීමට පවා නොයයි. එකල අප නිවසින් රාජකාරි සඳහා පිටව ගිය පසු බඹරා මගේ අම්මා සමඟ ගෙදර තනිවෙයි. එවිට සර්පයෙකු හදිසියේ අස්සකින් මුල්ලකින් ආවොත් අන්න එවිට බඹරා වීරයෙකු සේ හැසිරුණු බැව් අම්මා මා සමඟ කියා ඇත. අනේ ඉතිං වයසට යනකල් ම ලොකු සීන් දැමූ මේ බඹරා සිය ජීවිතයේ අවසාන කාලයේදී අප නිවසින් අතුරුදන් ව ගොස් තිබුණි.
මගේ ජීවිතයේ මා වඩාත්ම ප්‍රේම කළ පූසා බන්ටී උපත දුන් තුන්වැන්නාය. ඒකා අතිශය කුඩා කාලයේදී හචිස් හචිස් ගා ගෙඩිපිටින් හච්චිං යැවූ බැවින් මා උන්දෑව නම් කළේ 'හච්චිමා' කියා ය. හච්චිමා මගේ දුකට සැපට පිහිටට ළඟම හුන් මව්වත්මය පිරිමි සතෙකි. මුන්දෑගේ විශේෂත්වය වනාහි මස්,මාළු,කිරි,බිත්තර පමණක් නොවැ චොක්ලට්,අයිස්ක්‍රීම්,රටකජු,ටිපිටිප් ආදී මොන මොනවා දුන්නත් ඌ ඒවා ආසාවෙන් ආහාරයට ගැනීමයි.
මගේ ප්‍රාණසම පෙම්වතී මාධවී එකල මා හට ගෙන එන බොහෝ කඩචෝරු හච්චිමා ද හරි හරියට ගිලී. ඉදින් මාධවී ආ පසු ඇගේ සුන්දර දෙපාතුඩු වල පහස විඳ ආලේ ලීලේ පාන හච්චිමා මාධවී මට ළංවූ පසු ඊරිසියාවෙන් මෙන් පලා යයි. පූසන් තරම් හොඳින් ප්‍රේමය හඳුනන , වේදනාව සඟවන සත්ව ලෝකයේ වෙනත් අහිංසකයන් සෙවීම උගහට ය. ඔන්නොහොම මගේ ජීවිතයේ තීරණාත්මක මංසන්ධිවලදී පවා ළඟ ම හුන් හච්චිමා අසනීපයක් නිසා තම අවසන් හුස්ම හෙළුවේද අපේ මහගෙදර දී ම ය. හච්චිමාගේ අවසන් බැල්ම දැකීමට තරමේ ශක්තියක් මා හට තිබුණේ නැත. ඒ දිනයේ දී මා හච්චිමා වෙනුවෙන් ලියූ කවියක අවසාන පේළියේ මෙසේ ලීවෙමි.
' නිවන් සුව පතන්නේ නෑ මම
මං ගාව ඉන්න මේ සසරෙම '
අපේ යුගයේ මිනිසෙකුගේ ජීවිත කතාව වෙනස් කළ 'එක් ලෝක පූජිත පූසෙකු' ගැනත් ඔබට නොකියාම බැරි ය. ඒ පූසා ද මගේ පූස් ලෝකයේ වීරයෙකි. ලන්ඩනයේ වීදි ගාණේ හෝම්ලස් තරුණයෙකු හැටියට දිවි ගෙවූ 'ජේම්ස් බෝවන්' නමැත්තාට යාචක දිවියක් උරුමව තිබුණි.
අධික ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහියත්, අධික කෝපයත්, ආත්මීය කනස්සල්ලත් නිසා මේ තරුණයාට හෙටක් උදෙසා අරමුණක් තිබුණේ නැත. කරේ එල්ලාගත් ගිතාරුව ද සහිතව හන්දි හන්දි ගානේ ගීත ගයමින් සිටි ඔහුට නිරන්තරයෙන් පොලීසියෙන් ද අඩත්තේට්ටම් සිදුවේ. දිනක් ඔහුගේ ජීවිතේ වෙනස්වන ඒ 'මැජික්මය ඇස්දෙක' ජේම්ස්ට මුණගැසෙයි.
ඒ පොල් සම්බෝල පැහැති 'බොබ්' නම් පූසා ය. මුලින් මුලින් බොබ්ගේ හමුව ජේම්ස්ට අතිශය වදයක් වුවත් පහු පහු වෙද්දී ඒ අපරිමිත ආදරයෙන් ඔහු සපුරා පිරී යන්නේ ය. බොබ් ජේම්ස්ගේ කරේ නැඟී වීදි ගාණේ ගොසින් ගීත ඇසීමට පැමිණෙනා මිනිසුන් ළමුන් පිනවන්නේ ය. පූසෙකුගේ බුද්ධිමත්කමින්, බුහුටිකමින්, ප්‍රේමයෙන් 'ජේම්ස් බෝවන්' පසු කලෙක ලන්ඩනයේ තරුවක් වන්නේ ය. පසුව ජේම්ස් බෝවන් විසින් මේ වීර පූසා සහ ඔහුගේ ජීවිතය අළලා ලියන ලද කෘතිය 'A Street Cat Named Bob' නම් වේ. එය සොයාගෙන කියවන්න.
උපතේ පටන් අපට හමුවන මිනිසුන්ට ආදරයේදී එක එක කොන්දේසි තිබේ. එහෙත් පූසන් කොන්දේසි විරහිතව ඔබට ආදරේ කරනු ලැබේ !