gossip lanka

විනීතාව ඝාතනය කළේ බාලදියණිය නෙවෙයි? සිරුර ඔසවාගෙන ගියේ කවුද? 'කහවත්ත' භීතියට පත් කෙරූ ඝාතනයේ ඇඟ හිරිවැටෙන අලුත්ම හෙළිදරවුව

පසුගිය දිනෙක 'කහවත්ත' ප්‍රදේශයේ සිදු වූ 'කාන්තා ඝාතනය'ත් සමඟ නැවත වතාවක් 'කහවත්ත' දෙසට බොහෝමයක් පිරිසකගේ 'අවධානය' යොමු වුණා.

අදාළ 'කාන්තාව'ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ඇගේ ම බාල දියණිය වීම විශේෂයි.

'කහවත්ත' යනු මින් ඉහතද 'සමූහ ඝාතන' කිහිපයක් නිසා 'කතාබහට' ලක් වුණු 'ස්ථානයක්' බැව් ඔබට අමතක නැතුව ඇති.

අදාළ 'බිහිසුණු ඝාතනය' පිළිබඳව 'මව්බිම' පුවත්පතේ අද පළ වී ඇති, 'සම්පූර්ණ ලිපිය' පහතින් බලන්න....

කහවත්ත, වැල්ලදුර, වෙල්වත්ත ප්‍රදේශයේ ඉකුත්දා වයෝවෘද්ධ කාන්තාවක් ගෙල කපා මරා දමා තිබූ අතර එම ඝාතනයත් සමඟ මුළු කහවත්තම යළි භීතියෙන් ඇලළී ගියේය. ඒ මීට වසර දහතුනකට පෙර කහවත්ත පොලිස් වසමේ තැන තැන සිදුවූ කාන්තා ඝාතන යළි ඔවුන්ගේ මතකයන්ට නැඟුණු නිසාය.

2008 වසරේ සිට කහවත්ත සහ කොටකෙතන ගම්මානවල කාන්තාවන් 19 දෙනකු ඉතා අමානුෂික ලෙස මරා දමා තිබූ අතර මෙම ඝාතන කහවත්ත සහ ඒ අවට ප්‍රදේශවාසීන්ගේ මතකයෙන් තවමත් ගිලිහී ගොස් නැත. කහවත්ත, කොටකෙත සිදුවූ එම බිහිසුණු ඝාතනවලින් පසු යළිත් එවැනිම අමානුෂික ඝාතනයක් පසුගිය 13 වැනිදා කහවත්ත පොලිසියට වාර්තා වූයේ ඒ අතීත සිද්ධීන් යළි සිහිපත් කරමිනි.

ඉකුත් 13 වැනිදා සවස කහවත්ත පොලිස් ස්ථානාධිපති සුමිත්ත කරුණාරත්න මහතා රාජකාරි කටයුතුවල යෙදී සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබුණේය. ඒ ඔහු දන්නා කියන කාන්තාවකගෙනි. ස්ථානාධිපතිවරයා කටහ¾ඩින් ඇය හඳුනා ගත්තේය.

“සර්… මම වැඩට ගිහින් දැනුයි ගෙදර ආවේ. ඒ එනකොට මගේ අම්මව මරලා දාලා අනේ සර් ඉක්මනට එන්න…”

ඇය ස්ථානාධිපතිවරයාට කීවාය. කරුණාරත්න මහතා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කිහිප දෙනකුම සමඟ වැල්ලදුර වෙල්වත්තට ගියහ. නිලධාරීන් එම නිවෙසට යන විටත් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමැතුම් දුන්, මරාදැමුණු කාන්තාවගේ බාල දියණියද නිවෙසේ සිටියාය. අවිවාහක ඇය 38 හැවිරිදිය. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස ඇය සේවය කළාය.

එසේ මරා දමා තිබුණේ ඇයගේ මවය.. මව සමඟ එම නිවෙසේ ජීවත් වනුයේ ඇගේ මෙම දියණිය පමණි. ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීහු ඇගේ නිවෙසට ඇතුළු වූහ. ඔවුන්ගේ දෙනෙත් නිවෙසේ ඒ මේ අත සිසාරා ගියේය. වයෝවෘද්ධ කාන්තාවක් නිවෙසේ මුළුතැන්ගෙය පිටුපස මිදුලේ වැටී සිටියාය. ඇගේ ගෙල ප්‍රදේශය කැපී ගොසිණි. පොලිස් නිලධාරීන් නිවෙස නිරීක්‍ෂණය කරද්දී 1990 ගිලන් රථයද එතැනට ළඟාවිය. රථයේ සිටි සෞඛ්‍ය සේවිකාවක් මිදුලේ වැටී සිටි වයෝවෘද්ධ කාන්තාව පරීක්‍ෂා කොට පැවැසුවේ ඇය ඒ වන විටත් මරණයට පත්ව ඇති බවකි.

මෙලෙස මරා දැමුණු කාන්තාව විනීතා ජයසුන්දර නමැත්තියකි. ඇය 71 හැවිරිදිය. ඇය තිදරු මවකි. ඇගේ වැඩිමහල් පුතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සේවයේ නිරතව සිටින අතර, ඔහු කලක් මාධ්‍යවේදියකු ලෙසද රාජකාරි කළේය. පවුලේ දෙවැන්නා වෛද්‍යවරියකි. බාලයා විනීතා සමඟ එකම නිවෙසේ ජීවත් වූවාය. විනීතාගේ සොහොයුරාද හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකි.

සිදුවීම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සබරගමුව පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු සෙසු නිලධාරීන්ටද දැනුම් දෙන ලදී. ඔවුන්ගේ උපදෙස් මත විමර්ශන ඇරැඹිණි. ඒ අතර සොකෝ නිලධාරීහු සහ ඇඟිලි සටහන් නිලධාරීහුද සිද්ධිය වූ නිවෙසට පැමිණියහ. පොලිසිය විමර්ශන සිදුකරද්දී පෙනී ගිය එක් ප්‍රබලතම කරුණක් විය. ඒ නිවෙසේ සාලයේ ගලාගිය රුධිරය කිසිවකු විසින් සෝදා ඇති බවය. ස්ථානාධිපතිවරයා සහ සොකෝ නිලධාරීහු නිවෙසේ ඒ මේ අත යමින් හෝඩුවාවක් සොයා ගන්නට උත්සාහ ගත්හ.

නිවෙස පිටුපස මිදුලේ පුටුවක්ද තිබිණි. නිලධාරීන් එම පුටුව නිරීක්‍ෂණය කළ අතර එයද සෝදා පවිත්‍ර කර ඇති බව පෙනී ගියේය. දිගින් දිගටම මෙසේ විමර්ශනයේ යෙදෙද්දී මරාදැමුණු කාන්තාවගේ සිරුර අසල තිබූ අත්ඔරලෝසුවක් වෙත නිලධාරීන්ගේ උකුසු ඇස් යොමුවිය. සොකෝ නිලධාරීන් එම ඔරලෝසුව නිරීක්‍ෂණය කරද්දී එහි ලේ තැවැරී ඇති අයුරු ඔවුනට පෙනී ගියේය.

මරාදැමුණු විනීතාගේ බාල දියණිය වෙත ස්ථානාධිපතිවරයා හැරුණේය. ඒ සැක සංකා රැසක් හිතේ ගුළි කරගෙනය.

“ගෙදර මොනව හරි අරගෙන ගිහින් තියෙනවාද?”

“නැහැ සර්. මුකුත්ම අරගෙන ගිහින් නැහැ. බාල දියණිය ඊට උත්තර දෙමින් කීවාය. මැරී සිටි කාන්තාවගේ ගෙලේ පැලඳි රන් මාලය එලෙසම තිබිණි. කනේ කරාබු දෙකද ඝාතකයා රැගෙන ගොස් තිබුණේ නැත. මෙවන් කරුණු කාරණා ස්ථානාධිපතිවරයා තුළ දැඩි සැකයක් ගෙන දුන්නේය.

“එතකොට මේ කාන්තාව මරපු එකා රත්තරන් හරි සල්ලි හරි අරගෙන ගිහිනුත් නැහැ. ගෙදර කිසිම දෙයක් ගෙනිහිනුත් නැහැ. ගෑනු කෙනාගේ කරාබු දෙකත් කනේ තියෙනවා. මාලෙත් බෙල්ලේ තියෙනවා. එතකොට කාන්තාව මැරුවේ ඇයි. අනෙක මරපු එකා ගේත් හෝදලා පුටුවත් හෝදලා. මරන්න ආපු එකෙක් මරලා යනවා හැරෙන්න ගෙවල් හෝද හෝද ඉන්නේ නැහැනේ. මාර ප්‍රශ්නයක්නේ…”

ස්ථානාධිපතිවරයා එවන් ගැටලුකාරී ප්‍රශ්න රැසක් අතරට මැදිවිය.

“එතකොට අම්මාගේ මිනිය ගාව වැටිලා තියෙන ඔරලෝසුව කාගේද…?”

ස්ථානාධිපතිවරයා බාල දියණියගෙන් විමසුවාය.

“සර්… ඒක මගේ….” ඇගේ කතාවෙන් ස්ථානාධිපතිවරයා ගැස්සී ගියේය.

“කොහොමද ඔයාගේ අතේ තිබුණු ඔරලෝසුව එතැන වැටුණේ…”

ඇය මඳක් ගොත ගැසුවාය… “සර් ඒක මගේ වුණාට මම ඒක අම්මට දීලා තිබුණේ. අම්මත් ඒක දානවා. මාත් දානවා…”

ඇය එසේ කීවත් ස්ථානාධිපතිවරයාට ඇය ගැන ඇති වූයේ සැකයකි. එහෙත් ඔහු කලබල වූයේ නැත. මවගේ ඝාතනයට ඇය සැකපිට හෝ අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කි ඒ වන විට හමුවී තිබුණේ නැත. ඒ නිසා ස්ථානාධිපතිවරයා මඳක් ඉවසුවේය.

ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත නිල සුනඛ “මාෂි” සිද්ධිය වූ ස්ථානයට ගෙන ආවේ ඉන් පසුවය. මාෂිගේ ඉවට දුන්නේ මරා දැමුණු කාන්තාවගේ සිරුර අසල වැටී තිබූ අත්ඔරලෝසුවය. ඊට ඉව කළ මාෂි මුලින්ම ගියේ මුළුතැන්ගෙය දෙසටය. යළිත් මාෂිගේ නහයට ඔරලෝසුව ළං කෙරිණි. එවර මාෂි දිව ගියේ බාල දියණියගේ කාමරයටය. ඒ නිලධාරීන් තුළ තිබූ සැකය තවත් තහවුරු කරමින්ය.

සිද්ධිය වූ නිවෙසට පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් නුතිනත් සිරිවර්ධන මහතා පැමිණියේ ඔය අතරය. මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුවූයේ ඉන් පසුවය. එම පරීක්‍ෂණයෙන් පසු මහෙස්ත්‍රාත්වරයාගේ නියමයෙන් මරාදැමුණු විනීතාගේ සිරුර කහවත්ත රෝහල වෙත යැවිණි. ඒ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදුකොට විනීතා මරා දැමූ ආකාරය සොයා ගැනීමටය. එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ මරණය සිදුව ඇත්තේ කැපුම් තුවාලයෙන් බවය. ඒ අනුව ඇගේ මරණය ඝාතනයක් ලෙසින් සලකා විමර්ශන ඇරැඹිණි.

විනීතා සාලය තුළදී ගෙල කපා මරා ඇගේ සිරුර මුළුතැන්ගෙය හරහා මිදුලට ඇදගෙන යන්නට ඇතැයි නිලධාරීන් මුලින්ම සිතුවේය. එහෙත් සිරුර බිම දිගේ ඇදගෙන ගිය බවට කිසිදු සාක්කියක් නිලධාරීන්ට හමුවූයේ නැත. එමෙන්ම මළ සිරුරේද ඇදගෙන යෑමෙන් සිදුවූ සීරීම් තුවාලයක්වත් නොවීය. අවසානයේ සොකෝ නිලධාරීන්ගේ නිගමනය වූයේ විනීතා ගෙල කපා මරා ඇගේ සිරුර ඔසවාගෙන ගොස් මිදුලට දමන්නට ඇති බවය. විනීතා සාලයේදී මරා දමා ඇති බවට තහවුරු වූයේ සාලයේ තිබූ ලේ පැල්ලම් සෝදා පවිත්‍ර කර තිබූ නිසාය. සාලයේ බිත්තිවල විසිරී තිබූ ලේ පැල්ලම්ද ඊට සාක්කියක් ගෙන දුන්නේය.

කෙසේ වෙතත් නිවෙසට ඇතුළු වූ කිසිවකු ගැන කිසිදු තොරතුරක් පොලිසිය සතු නොවීය. ඇසින් දුටු පුද්ගලයකුද ඒ අවට නොවීය. මාෂි ගියේද බාල දියණියගේ කාමරයටය. මවගේ සිරුර ළඟ දියණියගේ අත්ඔරලෝසුව වැටී තිබීම නිලධාරීන් තුළ ඇති වූ තවත් ප්‍රබල සැකයක් විය. මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට බාලදියණියගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව තීරණය කළ ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. එහිදී ඇය කියා සිටියේ කාර්යාලයේ සිට නිවෙසට පැමිණි අවස්ථාවේ මව මරා දමා තිබූ බවය. එමෙන්ම නිලධාරීන් ඇය කාර්යාලයට යන එන වේලාවන් සහ නිවෙසට පැමිණෙන වේලාවන්ද විමසා සිටියේය. එහිදී ඇය නිවෙසින් ගිය වේලාව සහ උදෑසන නිවෙසින් පැමිණි, ගිය වේලාවන් කියා සිටියාය. වෙනත් වැදගත් තොරතුරක් ඇගෙන් හෙළිවූයේ නැත. ඇය කීවේම කිසිවකු විසින් මව ඝාතනය කර ඇති බව පමණි.

ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ අවට පදිංචිකරුවන්ගෙන්ද කටඋත්තර කිහිපයක් ලබා ගැනීමට පියවර ගත්තේය.

“සර්… ඔය අම්මයි, දුවයි නිතරම රණ්ඩු වෙනවා. ගහගන්නවා. ඔය කෙල්ල උදේම වැඩට ගියාම ආයෙ එන්නේ හවස පහට විතර. ඒ ඇවිල්ලත් රණ්ඩු වෙනවා.”

කිහිප දෙනක්ම එලෙස පොලිසියට කීහ. නිලධාරීහු ඒ තොරතුරුද සිත්වල තබා ගත්හ.

“හවස 3.45ට විතර විනීතා නැන්දලාගේ ගේ පැත්තෙන් කෑගහන සද්දයක් ඇහුණා. අපි දර කඩ කඩ හිටියේ. මමත් දීපා අක්කත් නැන්දලාගේ ගේ පැත්තට දුවගෙන ගියා. එතකොට මේනකා නංගී කෑගහගෙන අක්කේ අම්මට මොනවද වෙලා බලන්නකො කියලා කිව්වා.”

අසල්වාසී තවත් කාන්තාවක් පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැසුවාය.

කහවත්ත වැල්ලදුර ශ්‍රී විජයරාජ පිරිවෙන් විහාරස්ථානය අසලින් ඇති වෙලේවත්ත පටුමඟ දිගේ මීටර් පන්හයසීයක් ගිය විට තරමක් හුදෙකලා ස්ථානයක පිහිටි විනීතාගේ නිවෙස හමුවේ.

මෙහිදී තවත් අසල්වැසි කාන්තාවක් සාක්කියක් දෙමින් පොලිසියට පැවැසුවේ, විනීතා උදෑසන 10ට පමණ රෙදි සෝදා ඒවා වියළෙන්නට දමන අයුරුත් පසුව එම රෙදි වියළීමෙන් පසු ඉවත් කරන අයුරුත් තමා දුටු බවය. දහවල් එකෙන් පසු ඇය දකින්නට නොවූ බවද ඇය පොලිසියට සඳහන් කළාය.

එමෙන්ම තවත් කාන්තාවක් පවසා ඇත්තේ සවස තුනයි හතළිස් පහට හතරට පමණ විනීතාගේ නිවෙස දෙසින් කෑ ගැසීමක් ඇසුණු බවය.

“අපි කෝකටත් සී.සී.ටී.වී. කැමරා චෙක් කරමු. එතකොට කවුරු හරි මේ ගෙදරට ආව ගියා නම් ඒකත් දැනගත හැකිනේ.” ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට කීවේය. සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීම සිදුවූයේ ඉන්පසුය. දිගින් දිගටම කැමරා සෝදිසි කළද කිසිදු පුද්ගලයකු විනීතාගේ නිවෙසට යන එන බවක් පෙනෙන්නට නොවීය. එහෙත් විනීතාගේ බාල දියණිය රැකියාව සඳහා නිවෙසින් පිටව යන අයුරුත් සවස්වරුවේ ඇය නිවෙස වෙත නැවත පැමිණෙන අයුරුද කැමරාවල සටහන් වී තිබුණේය.

“සාමාන්‍යයෙන් මේ ගෑනුකෙනා උදේ හත අට වෙනකොට ගෙදරින් යනවා. ස්කූටි බයික් එකෙන් තමයි මෙයා ඔෆිස් එකට යන්නේ එන්නේ. මෙයාගෙ ඔෆිස් එක තියෙන්නේ කහවත්ත ටවුමේ. එයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි යන්නේ. අපි සී.සී.ටී.වී. බලනකොට පෙනුණා ඔය සිද්ධිය වුණු 13 වැනිදා උදේ මෙයා ඔෆිස් එකට යන්නේ උදේ 11ට විතර කියලා. මෙයා විනාඩි 6කින් ඔෆිස් එකට යනවා. යන්නෙත් හරිම වේගයෙන්.

“ඒත් එයා එදා ගෙදර එන්නේ වෙනදාට වඩා වේලාසනින්. එදා මෙයා ගෙදර ඇවිත් තිබුණේ විනාඩි 16කින්. ඒ නිසා අපිට මෙයා ගැන තිබුණු සැකය තවත් වැඩිවුණා.”

අම්මාගේ මරණය ගැන මෙයා මුකුත් කියන්නේ නැහැ. ඒත් අපිට තියෙන්නේ පර්වේෂණ සාක්කි විතරයි. ඒත් අපි මෙයාව ඇරස්ට් කළේ නැහැ. අම්මගේ අවසන් කටයුතු ඉවර වෙනකම්ම අපි හිටියා. ඒ අතරතුර මෙයාගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකුත් දැම්මා. එයාලා ගමේ මිනිස්සු වගේ මළගෙදර හිටියා.

තවත් ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒ මේ සිද්ධියට පිටස්තර කවුරුහරි සම්බන්ධද කියලා. මේ මැරුණු ගෑනු කෙනාගේ ඇඟේ කිසිම තුවාලයක් නැහැ. බෙල්ල කපලා තිබුණා. ඔළුවේ පැත්තක් ගෙඩි ගැහිලා වගේ තිබුණා. ඒක මාරාන්තික නැති වුණත් බෙල්ලේ තුවාලේ මාරාන්තිකයි.

අනික මේ ගෑනු කෙනා සාලෙදි බෙල්ල කපලා මරලා උස්සගෙන ගිහින් තමයි පිටුපස්සේ මිදුලට දාන්න ඇත්තේ කියලා අපි තීරණය කළා. මළකද බිම දිගේ ඇදගෙන ගියා නම් ගෑනු කෙනාගේ ඇඟේ හිරීම් තියෙන්න ඕන. ඇඳුම්වල සලකුණු තියෙන්න ඕන. ඒ කරුණු කාරණා මත අපි අවමඟුල් කටයුතුවලින් පස්සේ විනීතාගේ මරණයේ සැකයට එයාගේ බාල දියණිය අත්අඩංගුවට ගත්තා” යැයි විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. ඒ පැය පහක් පුරා කළ ප්‍රශ්න කිරීමකින් හා දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුවය. ඒ හැරෙන්නට විනීතා ඝාතනය කිරීමට උපයෝගි කරගත් පිහියවත් පොලිසියට හමුවී තිබුණේ නැත. මේ නිසා විනීතාගේ ඝාතනය සැකසංකා මත ඉදිරියට ඇදී ගියේය.

තවත් සුවිශේෂී විමර්ශනයක් ඒ අතර සිදුවිය. විනීතාගේ ඝාතනය පිළිබඳ කෙරෙන විමර්ශනයට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වෑන් රථයක් කහවත්ත පොලිසියට පැමිණීම නිලධාරීන්ගේ සතුටට හේතුවිය. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතය. මෙම වෑන් රථය අපරාධ පරීක්ෂණ සඳහා එම දෙපාර්තමේන්තුවට ලැබුණු ත්‍යාගයක් විය.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකරනු ලබන අපරාධ විමර්ශනයන් කඩිනම්ව සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය දැක්වීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද ජංගම ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයක් සහිත මෙම වෑන් රථය ඉකුත් 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලද්දේ වැඩබලන පොලිස්පතිවරයා විසින්ය. දිවයින පුරා සිදුවන යම් සුවිශේෂී අපරාධයන් කඩිනමින් විසඳීම සඳහා මෙම ජංගම රථය අදාළ අපරාධ ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය දක්වන්නේය.

නූතන තාක්ෂණික මෙවලම්වලින් සමන්විත මෙම වෝහාරික විද්‍යාගාරය සහිත වෑන් රථයේ විශේෂඥ දැනුම සහිත නිලධාරීන් කණ්ඩායමක්ද මීට අනුයුක්ත කර ඇත.

මෙම රථය පළමුවරට විමර්ශන සඳහා කහවත්තට ගියේ විනීතාගේ සැක මුසු මරණයට සහාය වී ඊට සම්බන්ධ වූ අපරාධකරුවන් ගැන සොයන්නටය. කෙසේ වෙතත් එම රථයේ සිටි විමර්ශන නිලධාරීන්ටද විනීතාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් යමක් හොයා ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් සැකසංකා මත සහ පර්වේෂණ සාක්කි මත සැකයට අත්අඩංගුවට ගැනුණු විනීතාගේ බාල දියණිය පොලිසිය විසින් පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ. අධිකරණය ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

ඇය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළත් විනීතාගේ මරණය ගැන කිසිදු හෝඩුවාවක් ඇගෙන් ලබාගැනීමට පොලිසියට හැකි වූයේ නැත. මවගේ ඝාතනය තමා විසින් කළ බවට ඇය පිළිගත්තේද නැත. එමෙන්ම මව සමඟ ආරවුල් ඇති කරගත් බවත් ඇය නොකීවාය. මේ අතර ඝාතකයා ඇය මරාදැමීමට උපයෝගී කරගත් කිසිදු පිහියක්, මන්නයක් හෝ වෙනත් ආයුධයක් පොලිසිය සොයාගත්තේද නැත. මේ නිසා ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දරගේ ඝාතනය සම්බන්ධ විමර්ශන තවමත් අවසන් වී නැත. පොලිසිය සතුව පර්වේෂණ සාක්කි රැසක් ඇතත් ඒවා ඔප්පු කරගත යුතුව ඇත. ඒ නිසා විනීතාගේ ඝාතනය තවමත් පවතින්නේ විමර්ශන මට්ටමේය.

සැකපිට අත්අඩංගුවට ගැනුණු විනීතාගේ බාල දියණිය රක්ෂිත බන්ධනාගාරගත කළද පොලිසිය සාක්කි සොයාගැනීම තවමත් නතර කර නැත. මේ අතර පසුගියදා කහවත්ත පොලිසිය සමඟ විශේෂ කාර්ය බළකා නිලධාරීහුද එක්වූහ.

ඒ විනීතා ඝාතනය කිරීමට උපයෝගි කරගත් ආයුධය සහ ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයා ගැනීම සඳහාය.

කහවත්ත පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එම භාණ්ඩ සොයාගැනීම සඳහා විනීතා පදිංචි නිවෙස අවට පැය 3ක් පුරා සෝදිසියක් සිදුකළද ආයුධය හෝ ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයාගැනීමට ඔවුනට හැකි වූයේ ද නැත.

ඇය පදිංචි නිවෙස අසල පිහිටි ළිඳ, වෙලේවත්ත ප්‍රදේශයේ ඇති පොදු ළිං, නිවෙස ආසන්නයේ පිහිටි කුඹුරුයාය, නිවෙස පිටුපස ඇති තේ වත්ත සහ තවත් සැකකටයුතු ස්ථාන කිහිපයක්ද මෙම සෝදිසි මෙහෙයුමට භාජන විය. භූමි පරික්ෂා කරන උපකරණ යොදා කුඹුරු සහ ළිං පරික්ෂා කිරීමද සිදුවිය. එහෙත් සැකකටයුතු කිසිදු දෙයක් හමුනොවීය. එහෙත් ඔවුන්ගේ උත්සාහය තවමත් නතර වී නැත. ඉදිරියට මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරන බව කහවත්ත පොලිසිය කීවේය.

කෙසේ වෙතත් විනීතා ඝාතනය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නගත කරුණු රැසකට පිළිතුරු සෙවීමට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාරියගෙන් නැවතත් ප්‍රශ්න කළ යුතු බවට තීරණය කළ කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා කුරුවිට බන්ධනාගාරය වෙතද යැවීය. එම කණ්ඩායම රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරියගෙන් ප්‍රශ්නකොට නැවත ප්‍රකාශ ලබාගත්තද අධිකරණමය කටයුතු සිදුවන බැවින් එම තොරතුරු මාධ්‍යයට හෙළි කළ නොහැකි බව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ කළ විමසීමකදී කියා සිටියේය. ඒ නිසා පොලිසිය පවසන්නේ විමර්ශන තවමත් අවසන් නැති බවය.

එසේනම් විනීතා ඝාතනය කළේ කවුද? ඇය ඝාතනය කර ඔසවාගෙන ගොස් මුළුතැන්ගෙය පිටුපස මිදුලට දැමීමට ඝාතකයාට තවත් අයකු සහාය වූයේද? නැතහොත් විනීතා මරා ඇගේ සිරුර ඔසවාගෙන ගියේ ඝාතකයා විසින්මද? විනීතා ඝාතනය කිරීමට උපයෝගි කරගත් ආයුධය කුමක්ද? විනීතා මරා දමන මොහොතේ ඝාතකයා හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් කෙහේද? විනීතා ඝාතනය කිරීමෙන් පසු නිවෙසේ සාලය සහ ලේ තැවරුණු පුටුව සෝදා පවිත්‍ර කළේ කවුරුන් විසින් ද? එමෙන් විනීතා ඝාතනය කිරීමට තරම් හේතු වූ ප්‍රධානතම කරුණු කාරණා වේ නම් ඒ මොනවාද? මුදල් හෝ රත්රන් ලබාගැනීම සඳහා විනීතා මරා දැමුවේ නම් ඝාතකයා නිවෙසේ තිබූ රන් ආභරණ මුදල් හෝ විනීතාගේ කනකර ආභරණ හෝ රැගෙන නොගියේ මන්ද?

මෙවන් විසදාගත යුතු ප්‍රශ්න රැසක් පොලිසිය සතුව ඇත. මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර දියණියද කිසිදු ප්‍රකාශයක් පොලිසියට දී නැතත් ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශන සහ සැකසහිත කරුණු කාරණා මත බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් විනීතාගේ අමානුෂික ඝාතනය නිසා බියට පත්ව හිටි කහවත්ත හා ඒ අවට පදිංචිකරුවන්ගේ සිත් තුළ බිය සැක මේ වනවිට තුරන් වී ගොස්ය. ඒ පොලිසිය සිදුකළ අත්අඩංගුවට ගැනීමත් සමඟය. එසේ නොවූයේ නම් කහවත්ත කොටකොතන මෙන් යළි බියෙන් ඇලළී යනු නියතය.

සබරගමුව පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය මත රත්නපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පිටිගල යන මහත්වරුන්ගේ උපදෙස් මත කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත්ත කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති. පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණ.

කීර්ති මෙන්ඩිස්



gossip lanka