gossip lanka

සමහරු නවත්තලා අහනවා ‘නංගි ඔයා නේද අර වීඩියෝ එකේ හිටියේ’ කියලා...හිනාවක් නිසා ලංකාවෙම ජනප්‍රිය වුණු ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල

අවුරුදු 9ක ඉඳන් මම පාරේ… ඒ හිනාව යට මෙහෙම ගින්දරක් ඇති කියලා හීනෙකින්වත් හිතුවද…

අද අපේ කතාවේ කතා නායිකාව මල්ෂිකා සෙව්වන්දි. ලස්සන හිනාවක් හින්දා සමාජ මාධ්‍ය තුළ බොහෝ ජනප්‍රිය වුණු නුවරඑළිය – මහනුවර පාරේ ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල තමයි මේ.

ෆේස්බුක්, ටික්ටොක්වල අතිශයින් ජනප්‍රිය වුණා ඔබේ වීඩියෝවක්. ඒ ජනප්‍රියත්වය, ප්‍රතිචාර ගැන ඔයාට මොකද හිතෙන්නේ?

වීඩියෝ එක දකිද්දී මට ගොඩක් සතුටුයි. මොකද මමත් හිතුවේ නෑ ඒ වීඩියෝ එක එච්චර ලස්සනට තියෙයි කියලා.

ඒ වීඩියෝ එක කවුද කළේ?

එයා ටික්ටොක් කරන කෙනෙක්, මෙතැන ස්ට්‍රෝබෙරි ගන්න නැවැත්තුවේ. එයාව එදා තමයි මම දැක්කෙත්.

මල්ෂිකාට වයස කීයද දැන්?

මගේ වයස අවුරුදු 20යි.

ඔබ මේ ව්‍යාපාරය පටන් අරන් කොච්චර කාලයක් වෙනවද?

මම මුලින්ම මේ ව්‍යාපාරයට එනකොට මගේ වයස අවුරුදු 9යි.

ඔයාගේ හිනාව ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඒ විදියට හිනාවෙලා හිටියට ඒ හිනාව ඇතුළේ ලොකු කතාවක් ඇති. අපට කියන්න ඒ කතාව ගැන?

මම ඉස්කෝලෙ ගියා, ඉගෙනගත්තා. ඒ අතර තමයි අවුරුදු 9 වයසෙදී මේ බිස්නස් එක මම පටන්ගත්තේ. මගේ තාත්තත් බිස්නස් කරන්නේ. මමත් තාත්තා එක්ක පොඩි පොඩි බිස්නස් කළා. මගේ තිබුණු ලොකුම හීනය තමයි කවදා හරි දවසක මටම කියලා බිස්නස් එකක් පටන්ගන්න එක. ඉතින් මම ඒ හීනෙට අද ඇවිල්ලා තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මුලින්ම, මේ පාරේ ස්ට්‍රෝබෙරි විකුණන කෙනෙක්ගෙන් විකුණන ගානටම පැකට් එකක් අරගෙන රුපියල් පනහක් හොයාගත්ත කෙල්ලෙක් මම.

ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. මේ වෙද්දී මම ෆාම් එකට ගිහින් මගේම සල්ලිවලින් බඩු අරගෙන විකුණන්නේ. ඊට අමතරව මම කොළඹටත් ස්ට්‍රෝබෙරි යවනවා. ගොඩක් අය දැන් මගෙන් බඩු ගන්නවා. ඒ අයට මාව හුරුයි. මම අවුරුදු 13ක වගේ කාලයක් තිස්සේ මේ බිස්නස් එක කරගෙන යනවා. හරිම සතුටකින් තමයි මම මේ දේ කරන්නේ.

ඔයා කොළඹටත් ස්ට්‍රෝබෙරි යවනවා කිව්වා. කියන්නකො මේ ව්‍යාපාරයේ ස්වභාවය ගැනත්?

ෆාම් එකෙන් මේවා ගනිද්දී එක එක දවසට මිල වෙනස් වෙනවා. වැහි කාලෙට ස්ට්‍රෝබෙරි ගස්වල ඵලදාව අඩුයි. ඒ දවස්වලට මිල සාමාන්‍යයෙන් රුපියල් 50ක් 100ක් වැඩිවෙනවා. ඉතින් මම රුපියල් 80ක, 100ක වගේ ලාභයක් තියාගෙන තමයි පැකට් එකක් විකුණන්නේ. මම රුපියල් 500කට ස්ට්‍රෝබෙරි පැකට් එකක් ගත්තොත් මම ඒක විකුණන්නේ රුපියල් 600කට. පැකට් 10ක් වික්කොත් මට රුපියල් 1000ක ලාභයක් තියෙනවා. ඒ පැකට් 10ක් විකුණන එකත් හරිම අමාරුයි. නවත්තන හැම වාහනයකින්ම මේවා මිලට ගන්නේ නෑ.

ඔබේ හිනාවනේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණේ. ඉතින් ඒ වීඩියෝව බලපු අය මෙතැන නවත්තන්නේ නැද්ද?

මෙතනින් යන සමහරු නවත්තලා අහනවා ‘නංගි ඔයා නේද අර වීඩියෝ එකේ හිටියේ’ කියලා. එහෙම අහද්දී ගොඩක් සතුටුයි. ඒ වීඩියෝ එකට ගොඩක් අය දාලා තිබුණු කමෙන්ට්ස්වලින් මට ලොකු ශක්තියක් ලැබුණා.

ඔබ මුලින්ම පුංචි රුපියල් 50ක ලාභයක් හොයාගෙන පටන්ගත්ත ව්‍යාපාරයක් මේක. බලන අයට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද ඔබට?

අද සමාජයේ ගොඩක් ගෑනු ළමයි රැකියා හොයාගෙන යනවා. කැම්පස් ගියත් ජොබ් එකක් හොයාගන්න බැරිවුණු අවස්ථා තියෙනවා. තමන්ට පුළුවන්, තමන්ට හැකියාව තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියන එකයි මම කියන්නේ. මමත් ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගත්තා. මගේ අම්මා තාත්තත් මගේ ඉගෙනීමට උපරිමයෙන් උදව් කළා. නමුත් මට තියෙන්නේ ව්‍යාපාර කරන්න දක්ෂතාවක්. මම ඒකෙන් ඉස්සරහට ගියා. ඉතින් මම හැමෝටම කියන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩි දෙයක් හරි පටන් අරගෙන ඉස්සරහට යන්න කියලා. විශේෂයෙන්ම ගෑනු ළමයි අද සමාජයේ ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෙ. මම හැමදාම උදේට මෙතැනට එන්නේ, ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම ගෙදර තියලා ගොඩක් සතුටින්. ඉතින් මම මේ ව්‍යාපාරය ගොඩක් සතුටින් කරගෙන යනවා.

මල්ෂිකාගෙන් ස්ට්‍රෝබෙරි මිලට ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්නෙ කොහොමද? ඔබ කොයි දවස්වලටද මෙතැන වෙළෙඳාම් කරන්නේ?

මට සතියකට දවස් දෙකයි ස්ට්‍රෝබෙරි ලැබෙන්නේ. අඟහරුවාදා සහ සිකුරාදා. මගේ ෆේස්බුක් ගිණුමේ මගේ දුරකතන අංකය තියෙනවා. ඒ හරහා මට ඇණවුම් ලබාදෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ හැමෝම මාව දන්නේ ‘මල්ෂි’ කියලා.

ඔබ ඉන්න මේ තැන හරියටම කියන්නේ කොහොමද?

රම්බොඩ උමඟට කලින් වංගු ටික පාස් කරගෙන එනකොට තියෙන ‘කේ.එච්. සෝන්’ කියන ලොකු බිල්ඩින් එක ළඟ තමයි මම වෙළෙඳාම් කරන්නේ. මහනුවර පැත්තේ ඉඳලා නුවරඑළියට එනකොට පාරේ වම් පැත්තේ තමයි මම ඉන්නේ.

Nilame යූටියුබ් නාලිකාවෙනි
gossip lanka