gossip lanka

පකිස්තානය සහ චීනය සමග ඉන්දියාවේ සන්නද්ධ ගැටුමක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්!

ඉන්දියාව හා පකිස්තානය සහ ඉන්දියාව හා චීනය අතර උත්සන්න වී ඇති ආතතිය හේතුවෙන් ගැටුමක් ඇති විය හැකි බව හඳුනාගෙන ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ ඉන්දීය පාර්ලිමේන්තුව දැනුවත් කර තිබේ.

එමෙන් ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව, පකිස්තානයේ “වටහාගත් හෝ සැබෑ” ප්‍රකෝප කිරීම්වලට මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇති බව ද ඔවුන් සඳහන් කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බව ය.

ඉන්දියාව සහ චීනය දේශසීමා සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී ගැටලු විසඳා ගත්ත ද දශක ගණනාවකට පසුව ඇති වූ බරපතළ ම ගැටුම වන 2020 වසරේදී රටවල් දෙක අතර හට ගත් මාරාන්තික ගැටුමෙන් පසුව සබඳතා තවදුරටත් නොසන්සුන් වනු ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.

මතභේදයට තුඩු දී ඇති දේශසීමාව දිගේ ඉන්දියාව සහ චීනය යන දෙඅංශයෙන් ම පුළුල් කරන ලද මිලිටරි ස්ථාපනය කිරීම්, එක්සත් ජනපද පුද්ගලයන්ට සහ කටයුතුවලට ඍජු තර්ජන එල්ල විය හැකි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර සන්නද්ධ ගැටුමක අවදානම ඉහළ නංවන අතර එය එක්සත් ජනපද මැදිහත්වීමකට සිදු කරන අත වැනීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම වාර්තාවට අනුව, ඉන්දියාව සහ පකිස්තානය අතර අර්බුද විශේෂයෙන් වැදගත් වන්නේ, න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් අතර ගැටුම් චක්‍රයක් ඇතිවීමේ අවදානම නිසා බව ය.

2021 මුල් භාගයේදී දේශ සීමා ආරක්ෂක රේඛාව ඔස්සේ දෙපාර්ශවය ම සටන් විරාමය අලුත් කිරීමෙන් පසු ඉන්දියාව සහ පකිස්තානය ඔවුන්ගේ සම්බන්ධතාවයේ වත්මන් සන්සුන්භාවය ශක්තිමත් කිරීමට බොහෝ දුරට නැඹුරු වන බව එහි දැක්වේ.

“කෙසේ වෙතත්, පකිස්තානයට ඉන්දීය විරෝධී සටන්කාමී කණ්ඩායම්වලට සහය දැක්වීමේ දිගු ඉතිහාසයක් ඇති අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව වටහාගත් හෝ සැබෑ පකිස්තාන ප්‍රකෝප කිරීම්වලට මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇත,” යනුවෙන් එම වාර්තාව පෙන්වා දී තිබේ.
gossip lanka