gossip lanka

නඩත්තු ගෙවන්න බෑ කියූ පියාටම දරුවන් පවරා මවගෙන් ඈත් කරලා !

පියා භාරයේ සිවින දරු දෙදෙනා තමා භාරයට පත් කරන ලෙස ඉල්ලා මවක විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ ගාල්ල දිසා විනිසුරු පී. රණසිංහ මහත්මිය මවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට දරුවන්ගේ නෛතික හා ශාරීරික භාරය පියාටම බාර කිරිමට නියෝග කළාය.


බූස්ස ප්‍රදේශයේ මවක විසින් මෙම ඉල්ලීම කරනු ලැබූ අතර ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා ද දැනට දරුවන් බලා ගන්නා ඥාතීන් දෙදෙනකු ද වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. පෙත්සම්නකාරීය කියා සිටියේ පළමුවන වගඋත්තරකරු සමග 2002 වර්ශයේ විවාහ වූ අතර තමන්ට පුතකු සහ දියණියක සිටින බවය.

එසේ සිටියදී පළමුවන වගඋත්තරකරු 2015.11.25 වැනි දින තමා අතහැර ගිය බවත් පසුව තමාගේ හා දරුවන්ගේ නඩත්තුව සඳහා 2016.06.17 වැනි දින නඩත්තු නඩුවක් පැවැරූ බවත් එහෙත් නඩත්තු ගෙවීමට නොහැකි බව වගඋත්තරකරු පැවැසීම නිසා දරුවන් දෙදෙනා වගඋත්තරකාර පියාට භාරදී නඩුව ඉල්ලා අස්කරගත් බවත් පෙත්සම්කාරීය කියා සිටියාය.

දරුවන් එසේ භාර ගත්ත ද පියා මේ වනවිට දරුවන් හැර දමා වෙනත් බිරිඳක සමග විදේශගතව සිටින බවත් දරුවන් දෙදෙනා මිතුරන්ගේ නිවෙස්වල අනාරක්ෂිකව රඳවා ඇති බවත් පෙත්සමකාරිය වැඩිදුරටත් කියා සිටියාය.  දරුවන් පියාට භාර දීමෙන් පසු තමා විදේශගත වූ බවත් දරුවන්ට අත්ව ඇති තත්ත්වය පිළිබඳව දැනගෙන යළිත් දිවයිනට පැමිණි බවත් දරුවන්ගේ යහපත පිණිස නැවත විදේශගත නොවී දරුවන්ගේ භාරකාරත්වය ලබා ගැනිමට තීරණය කළ බවත් එනිසා දරුවන්ගේ නෛතික හා ශරීරික භාරකාරත්වය තමා සතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසින් පෙත්සම්කාරිය ඉල්ලා සිටියාය.

වගඋත්තරකරු ස්වකීය නීතිඥවරිය මගින් කියා සිටියේ තමා නාවික හමුදා සෙබළකු ලෙස රැකියාව කළ අතර පෙත්සමකාර බිරිය මත්පැන් ජවාරමේ සහ මුදලට සූදු කෙළිමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බැවින් නිවසින් බැහැරව සිටියත් දරුවන් දෙදෙනා වෙනුවෙන් අවශ්‍ය සියලු යුතුකම් නිසි පරිදි ඉටුකළ බවය.

පෙත්සකාරීය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබූ බවත් දරුවන් දෙදෙනාම විවෘත අධිකරණයේදී තමාට භාරදී නඩුව ඉල්ලා අස්කරගත් බවත් ඒ අනුව 2017.01.20 වැනි දින සිට මේ දක්වා දරුවන්ගේ අධ්‍යපනික, සෞඛ්‍ය, ආහාර පාන හා අනෙකුත් සියලූ යුතුකම් ඉටුකරන බවත් වගඋත්තරකරු කියා සිටියේය.

දරුවන් තමාට භාරදීමේන් පසු පෙත්සම්කාරිය විදේශගතවූ බවත් තමා 5 වැනි වගඋත්තරකාරිය වන ඥාතී සහෝදරිය භාරයේ දරුවන් තබා අවශ්‍ය සියලු යුතුකම් ඉටුකළ බවත් ආර්ථික ගැටලු නිසා කෙටි කාලයකට රැකියාවක් සඳහා විදේශගත වූ බවත් කියා සිටි වගඋත්තරකරු පෙත්සම්කාරියගේ චරිතය, හැසිරීම සහ පවුල් පසුබිම අනුව දරුවන් දෙදෙනා රෑ කබලාගෙන අධ්‍යපනික, සෞඛ්‍ය, ආහාර පාන හා අනෙකුත් යුතුකම් කිරීමේ හැකියාවක් ඇයට නොමැති බවත් දරු දෙදෙනා ද ඇය සමග ජීවීත්වීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියේය.

එනිසා පෙත්සමකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසින් නඩුවේ 4 සහ 5 වැනි වගන්තරකරුවන් වන බාල වයස්කාර දරුවන් දෙදෙනාගේ අධ්‍යපනික, ආර්ථික, සමාජමය කටයුතුවලට අනවශ්‍ය බාධාවක් නොකරන ලෙසට පෙත්සම්කාරියට නියෝගයක් නිකුත් කරන ලෙසත් එයට අමතරව අධිකරණයට හැගෙන වෙනත් සහනයක් ලබාදෙන ලෙසත් වගඋත්තරකාර පියා ඉල්ලා සිටියේය.

සියලු කරුණු දිර්ඝ ලෙස සලකා බැලූ විනිසුරුවරිය බාල වයස්කාර දරුවන් දෙදෙනාගේ නෛතික හා ශාරිරීක අයිතිය වගඋත්තරකාර පියාටම පැවැරිමට තීන්දු කළාය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ඇවන්ති තරංගා හැන්නදිගේ මහත්මිය පෙනී සිටි අතර වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ රාජනී අබේවික්‍රම මහත්මිය පෙනී සිටියාය.

-ඩී.ජී.සුගතපාල-
gossip lanka