gossip lanka

“මම තේරීම් කමිටු සාමාජිකයෙක් නෙමෙයි" - අකිල ගැන ඇහුවම දික්වැල්ල තරහ යයි

තරගයට පෙර ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවේදී පී.සරා ඕවල් තණ තීරුව පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී  ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල “මම හිතන්නෙ මේ තණතීරුව ගාල්ලට වඩා හොඳයි. තණකොළ තියෙනවා. අපි අවසන් වරට බංග්ලාදේශය සමඟ මෙහි ක්‍රීඩා කරපු ටෙස්ට් තරගයේදීත් හොඳ තණතීරුවක් තිබුණා. මම හිතනවා මේ තණතීරුවේ කණ්ඩායම් දෙකම හොඳින් ලකුණු රැස්කරන, ඉහළ ලකුණු ප්‍රමාණයක් සටහන් වන තරගයක් වෙයි කියලා” යනුවෙන් පැවැසීය.


ශ්‍රී  ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වගකීම සමඟින් ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වූ දික්වැල්ලගෙන් මේ වන විට අයි.සී.සී. චෝදනා එල්ල වී තිබෙන අකිල ධනංජය අද තරගයට සහභාගි වනවාද සහ ශ්‍රී  ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවනවාද යන්න විමසූ අවස්ථාවෙදී පෙරළා පිළිතුරු දුන් දික්වැල්ල “මම තේරීම් කමිටු සාමාජිකයෙක් නෙමෙයි. කණ්ඩායම තෝරගන්නෙ කොහොමද කියන එකවත් හෙට ගහන්නෙ කවුද කියලවත් කියන්න බැහැ” යනුවෙන් ප්‍රකාශ කළ අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය හමුවකදී මෙවන් ආකාරයේ ආවේගශීලී හා දියාරු පිළිතුරු ලබාදීමට ජාතියක් නියෝජනය කරන මෙවැනි ක්‍රීඩකයන් පෙලඹෙනවා නම් එවන් ක්‍රීඩකයන් සහභාගි වන මාධ්‍ය හමුවකට සහභාගිවීමද නිෂ්ඵල ක්‍රියාවක් බව කිව යුතුය.

මේ අතර නවසීලන්තය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට සහභාගි වූ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ.වොට්ලින් ප්‍රකාශ කර සිටියේ පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල මෙම තරගයේදී නිවැරදි කරගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම ගාල්ල තණ තීරුවට වඩා මෙම තණතීරුවෙන් වේග පන්දු යවන්නන්ට වාසියක් හිමිවනු ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.
gossip lanka