gossip lanka

අලුතින් මත්පැන් බලපත්‍ර 74ක් දීලා !

පසුගිය වසරේදී නව මත්පැන් බලපත්‍ර 74ක් නිකුත් කර ඇති බව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සුරාබදු දෙපාර්තමේන්තුවේ 2018 කාර්යසාධන වාර්තාවේ සංඛ්‍යාලේඛන මගින් හෙළිව තිබේ.

එය 2017 වසරේ නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර 10 හා සසඳන විට 64%ක වැඩිවීමකි.


මෙය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2006 සිට නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍ර සංඛ්‍යාවේ දෙවන විශාලතම වැඩිවීම ලෙස සැලැකේ.

2014 දී නව බලපත්‍ර 83 ක් නිකුත් කර ඇති අතර එතැන් සිට එම සංඛ්‍යාව 2015 දී 52 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබී ඇත.

2016 දී 38ක් සහ 2017 දී 10ක් ලෙස එය සටහන්ව තිබේ.

2017 වර්ෂයේ දී රුපියල් බිලියන 113.027 ක් වූ සුරාබදු ආදායම 2018 වර්ෂය තුල දී රුපියල් බිලියන 113.936 කි.

2017 වර්ෂයේ දී 2016 වර්ෂයට සාපේක්ෂව 6.87%ක බදු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී 2017 වර්ෂයට සාපෙක්ෂව 0.8%කින් බදු ආදායම් වැඩි වීමක් ඇත.

2018 වර්ෂයේ දී සැර මත්පැන් සංශුද්ධ මද්‍යසාර ලීටරයක හා ධාන්‍ය මත්පැන් සංශුද්ධ මද්‍යසාර ලීටරයක (බියර්) බදු මුදල අතර රු. 900ක වෙනසක් පැවති ඇත.















බියර් බදු මුදල අඩු වීම නිසා සැර මත්පැන් පරිභෝජනය බියර් පරිභෝජනය මත විතැන් වීමක් සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.

එබැවින් මිල සාධකය මත සැර මත්පැන් පරිභෝජනය අඩුවීම මත එහි නිෂ්පාදනය අඩු වීම නිසා සැර මත්පැන් බදු ආදායම අඩු වී ඇති බවද වාර්තාවලින් හෙළිවේ.

මේ අතර, සිගරට් නිෂ්පාදනය සඳහා නිකුත් කරන ලද එක් බලපත්‍රයක් සහ බීඩි, සුරුට්ටු සහ පයිප්ප දුම්කොළ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 521 ක් 2018 දී අළුත් කර ඇති බවද එහි දැක්වේ.

ආනයනික දුම්කොළ සඳහා වන බදු 2017 ට සාපේක්ෂව 2018 දී සියයට 30.9 කින් අඩු වී ඇති බව වාර්තාවේ දැක්වේ.

2018 වර්ෂය තුළ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය සොයාගත් මුළු සංඛ්‍යාව 49,312 කි.

මෙය පෙර වසරට සාපේක්ෂව අනාවරණ 830 ක වැඩිවීමකි.

දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී දඩ මුදල් වලින් රුපියල් 253,629,165 ක් එකතු කරගෙන තිබේ.
gossip lanka