gossip lanka

වයිරස්වලට ඔරොත්තු දිය හැකි ඉස්සෙක් ලංකාවට

දැනට ඇති ලෙඩ රෝගවලට ඔරොත්තු දිය හැකි ඉස්සකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තායිලන්ත ආයතනයක් සමඟ මෙරට ආයතනයක් කටයුතු කරගෙන යයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වගා කරන ලද්දේ මොනඩොන් (MONODON)  නමැති ඉස්සන් ප්‍රභේදය වන අතර ඔවුන් මුහුදෙන් ලබා ගෙන බෝ කිරීම සිදු කරන ලදී. මේ හේතුවෙන් සුදු පුල්ලි නමැති වයිරසය (White Wpot Syndrome Virus)හා එම්.බී.වී. වයිරසය (Monodon Baculo Virus) පසුගිය වසර විස්සකට ආසන්න කාලය තුළ මෙරට ඉස්සන්ට වැලඳීම සිදුවුණු අතර මේ හේතුවෙන් ඉස්සන් කර්මාන්තය දිනෙන් දින අභාවයට යන ලදී.
ශ්‍රී ලංකාවේ ඉස්සන්ට ඇති සහ නැති රෝග හතකට පමණ ඔරොත්තු දිය හැකි ඉස්සකු මෙරට ප්‍රචලිත කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණයි. ඒ අනුව එස්.පී. එෆ්. මොනඩොන් (Specisic Pathogen Free) නමැති ඉස්සා මෙරටට රැගෙන ඒමට නියමිත අතර එම ඉස්සා සම්පූර්ණයෙන් අභ්‍යන්තර අභිජනනාගාර තුළ බෝ කර ඇත. මේ වන විටත් මේ ඉස්සන් ප්‍රභේදය මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලබයි. නව වැඩපිළිවෙළේ අරමුණ මෙය දීප ව්‍යාප්ත කිරීමයි. ඒ අනුව අවසරලත් ප්‍රදේශවල මොනඩොන් ඉස්සාට අමතරව වනමි ඉස්සා වගා කිරීමද මෙහි අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා රජයේ හා ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහාය හා උපදෙස් ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තායිලන්තයේ සී.පී. ආයතනය සමඟ මෙරට ප්‍රමුඛතම ඉස්සන් කර්මාන්තයේ නිරත ආයතනයක් වන කිං ඇක්වා ආයතනය එක්ව නව ආයතනයක් පිහිටුවා ඇත. ලෝටස් ඇක්වා කල්චර් ලංකා නමින් මේ ආයතනය පිහිටුවා ඇති අතර එහි ආරම්භක කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඉහත කරුණු අනාවරණය විණි.

මෙහිදී අදහස් දැක්වූ සී.පී. ආයතනයේ උප සභාපති ආචාර්ය මෝහන්දාස් මහතා ප්‍රකාශ කළේ ලංකාවේ ඉස්සන් කර්මාන්තය දියුණු නොවූයේ ප්‍රමාණවත් තාක්ෂණය නොමැතිකම නිසා බවයි. තම ආයතනය ලංකාවට කැඳවීමට ප්‍රධාන හේතුව නව තාක්ෂණය ලබා ගැනීමට හා අවශ්‍ය විදේශීය වෙළෙඳපොළ සකසා ගැනීමට යැයිද මොහාන්දාස් මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ වැඩපිළිවෙළේ ලංකාවේ නියෝජිතායතනය ලෙස කටයුතු කරන කිං ඇක්වා සර්විස් ආයතනයේ සභාපති එස්. තායාබරන් මහතා ප්‍රකාශ කෙළේ ලංකාවේ ඉස්සන් කර්මාන්තය කළ හැකි ඉඩම් හෙක්ටයාර් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් තිබුණත් වගා කරන්නේ හෙක්ටයාර් තුන්දහසක් පමණක් බවයි. නව තාක්ෂණය හා නව ඉස්සන් ප්‍රභේද සමඟ හෙක්ටයාර් දසදහසක් පමණ වගා කිරීම අරමුණ බව පැවැසීය. ඒ අනුව දැනට ලංකාවේ නිෂ්පාදනය කරන ටොන් අටදහසකට ආසන්න ඉස්සන් ප්‍රමාණය ටොන් අසූදහස දක්වා වැඩි කළ හැකි බව පැවැසීය. තායිලන්තයේ සී.පී. ආයතනයේ මෙරට නියෝජිත දීප්ත චමින්ද රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වීය.
gossip lanka