gossip lanka

භයානක හාස්‍ය සහිත වීඩියෝ ප්‍රචාරය අවහිර කෙරේ !

'සමච්චලයට ලක් කිරීමේ අරමුණින්' භයානක සහ තැති ගන්වන ලෙස සකසන ලද වීඩියෝ, යූටියුබ් (YouTube) සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වාරණයට ලක් කිරීමට අදාළ සමාගම තීරණය කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ, තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි භයානක විහිළු ප්‍රචාරය සහ පැතිරීමට ප්‍රතිචාර වශයෙනි.
ශ්‍රී ලංකාව තුළ ද 'හාස්‍යය මතු කිරීම' සඳහා යැයි දැක්වෙන අයුරින් පැතිරෙමින් පවතින මේ ආකාරයේ වීඩියෝ නිපැයුම් රැසක් දක්නට වේ.

'ඇවිදින භූතයෝ' නමින් නිකුත් කර ඇති වීඩියෝවක, අදාළ කණ්ඩායමේ ක්‍රියා හේතුවෙන් තැති ගත් පුද්ගලයන් මහා මාර්ගය හරහා දිව යන අයුරු දිස්වන අතර එම මොහොතේදී වාහනයක ගැටීමට බොහෝ ඉඩකඩ තිබූ බව එම වීඩියෝවෙන් ම පැහැදිලි වේ.

"හාස්‍යෝත්පාදනයේ පහත්ම තත්ත්වය"


යූටියුබ් සමාජ මාධ්‍යයේ ඇති තවත් වීඩියෝවක දැක්වෙන්නේ, කොට කලිසමක් හැඳි තරුණියක පසුපස යන තරුණයෙකු, මහා මාර්ගයේ සිටින පුද්ගලයන් අදාළ තරුණිය දෙස බැලුවේ යැයි බැන වැදීමය.

සමස්තයක් ලෙස මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරීනී හරිනි අමරසූරිය, "ශ්‍රී ලාංකික සමාජය තුළ අහිංසක පුද්ගලයන් අපහසුතාවට පත්කර විනෝද වීමේ සංස්කෘතියක්," නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකාශ කළාය.

"පොදුවේ අපේ සමාජයේ හාස්‍යය කියන එක යොදා ගන්න විදිය වෙනස්. කෙනෙක් අනෙකාව හිනා ගස්සන්නේ තවත් කෙනෙක් අපහසුතාවට පත්කිරීමෙන්."

"ඒක අපේ රස වින්දනය පිළිබඳවත් ප්‍රශ්නයක්. ඒක දියුණු දෙයක් නෙවෙයි."

මෙය සමාජයක් ලෙස අප සාකච්ඡා කළ යුතු දෙයක් ලෙසත්, නිර්මාණාත්මක හාස්‍යය සහ කෙනෙකුගේ දුර්වලතාවකට හෝ එම තැනැත්තා අපහසුතාවකට පත්කර හාස්‍යය ඉපිදවීම අතර වෙනස වටහා ගත යුතුව ඇති බවත් පෙන්වා දෙන ආචාර්ය හරිනි අමරසූරිය "මේක හාස්‍යෝත්පාදනයේ පහත් ම තත්ත්වය" යැයි ද පවසන්නීය.

මේ ආකාරයේ තවත් වීඩියෝවක දැක්වෙන්නේ, ආදරවන්තයන් සිටින ස්ථානවලට යන පුද්ගලයෙකු ඡායාරූප ගන්නා බව හැඟවීමය. එම ආදරවන්තයන් ඊට දක්වන ප්‍රතිචාරය හාස්‍යයක් ලෙස අදාළ වීඩියෝවේ උලුප්පා දක්වයි.

අනවසරයෙන් තමන්ගේ ඡායාරුප ගැනීම පිළිබඳව එහි සිටින ඇතැමෙකු විරුද්ධ වීම වීඩියෝ නිර්මාපකයා හාස්‍යයක් ලෙස දකියි.

ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික බැඳීම් තුළ මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ජීවිත හානි වැනි භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි අවස්ථා ද නැත්තේ නොවේ.

අවහිර කිරීම:

කෙසේ වුවත්, භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි වීඩියෝ සඳහා "යූටියුබ්වල තැනක් නැහැ," යනුවෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය සමාගම පවසයි. එසේ පැවසුව ද, හානිකර දේ සම්බන්ධව පවත්නා නීතිරීති ක්‍රියාත්මක කිරීමට ද සමාගම අසමත් වී ඇති බව පෙනෙන්නට තිබෙන බව බීබීසී වාර්තාවක දැක්විණි.

නමුත්, "අපි මේ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරමින් සිටිනවා," යූටියුබ් සමාගම ඊට ප්‍රතිචාර ලෙස පවසා තිබේ.

සීමාව පැනීම:

වීඩියෝ හානිදායක හෝ එසේ නොවන්නේදැයි හඳුනා ගැනීම ගැටලුසහගත වී ඇති මොහොතක, 'විහිළු වීඩියෝ' පාලනය තවත් අපහසු වීමට හැකියාවක් ඇත.

"බරපතළ හානි විය හැකි භයානක ක්‍රියා සහිත වීඩියෝ අපේ සමාජ මාධ්‍ය මාර්ගෝපදේශන මාලාවෙන් තහනම් කර තිබෙනවා. භයානක අභියෝගවලට සහ විහිළුවලටත් එය මෙතැන් සිට අදාළ වෙනවා," යූටියුබ් සමාගම පවසයි.

මෙතැන් සිට "දරුණු තුවාල සිදුවිය හැකියැයි වැටහෙන භයානක විහිළු සහිත වීඩියෝ," සඳහා යූටියුබ් තුළ අවකාශ නොලැබෙනු ඇත.

ඒ අනුව, සැබෑ ලෙස ම භයානක යමක් සිදු නොවූව ද, යමෙක් භයානක තත්ත්වයකට පත්වීයැයි රැවටීමකට ලක් කෙරෙන 'විහිළු වීඩියෝ' ද මේ ලෙස තහනමට ලක්වනු ඇත.
gossip lanka