gossip lanka

පෞද්ගලික අංශයේ සේවක වැටුප 10,000 කින් ඉහළට?

පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 10,000ක් වැඩි කර ගැනීමේ දැවැන්ත සටනක් ඇරැඹීමට අන්තර් සමාගම් සේවක සංගමය සැලසුම් කර ඇතැයි එහි සභාපති වසන්ත සමරසිංහ පැවැසීය.

එම සටන රටේ ගොවියාට පහර ගැසූ සේනා දළඹුවා මෙන්ම ආණ්ඩුවට පහර වදින කම්කරු සේනාව බවට පත් වීමද නිසැකවම සිදුවනු ඇතැයි සමරසිංහ මහතා අනතුරු ඇඟවීය.
එම නිසා වහාම පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කර ගැනීමට අදාළ ඉල්ලීම සලකා ඊට අවශ්‍ය නීති සම්පාදනය මාර්තු 05දා අය - වැයට පෙර සිදුවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (17දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

සමරසිංහ මහතා මේ බවද කීය,

පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමය ලෙස ආණ්ඩුවට ඉදිරිපත් කළ ඉල්ලීමත් ඒ ගැන දැනුවත් කිරීමත් නැවත ආණ්ඩුවට මතක් කරන්න සිදුවී තිබෙනවා. 2015 මේ ආණ්ඩුව බලයට එනකොට ඩොලරය තිබුණේ රුපියල් 131ට. 2019 ජනවාරි වෙද්දී ඩොලරය රුපියල් 185යි. රුපියල් 54කින් ඩොලරය වැඩි වෙලා. ඒ කියන්නේ රුපියල 45%කින් අවප්‍රමාණය වෙලා. රුපියල 45%කින් අවප්‍රමාණය වෙන කොට අපේ රටේ පෞද්ගලික සේවකයන්ගේ වැටුප ඒ ප්‍රමාණයෙන්ම අවප්‍රමාණය වෙනවා.

අපේ රටේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න ක්‍රම ගොඩක් නැහැ. පඩිපාලක සභා තියෙනවා. සාමූහික ගිවිසුම් තියෙනවා. ඊට අමතරව ආණ්ඩුව පනත් ගෙනැල්ලා පඩිය වැඩි කරපු ඒවා තියෙනවා.

2005 අංක 36 අය - වැය සහන දීමනා රුපියල් 1,000කුත් අනතුරුව 2,500කුත් මීට පෙර වැඩි කළා. ඒ අනුව පෞද්ගලික සේවකයන්ගේ අවම වැටුප පනතක් අනුව තියෙන රුපියල් 10,000 අවම වැටුප අය වැය සහන දීමනා පනත් දෙකේ රුපියල් 1,000යි, 2,500යි. එක්ක 13,500යි. 13,500ක අවම වැටුපක් තියෙන සේවකයකුට අනෙක් දීමනා පැමිණීම්, අතිකාල එක්ක රුපියල් 20,000ක පමණ වැටුපක් තමයි තියෙන්නේ.

හැබැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වෙනුවට ජාතික පාරිභෝගික මිල දර්ශකය හදපු ආණ්ඩුව 2015දී මේක හඳුන්වා දෙනකොට රුපියල් 32,000යි බඩුමල්ල. හැබැයි 2019 වෙද්දි ඒ බඩුමල්ලටම රුපියල් 42,000යි. රුපියල් 10,000කින් බඩු මල්ල වැඩි වෙලා. ආණ්ඩුවේ පඩි වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ.

ශ්‍රී ලංකා මහ බැංකුව ගණන් හදලා තියෙනවා හතර දෙනකුගේ පවුලකට මාසෙකට ජීවත් වෙන්න යන වියදම රුපියල් 54,999යි කියලා. කොළඹ නම් රුපියල් 82,000යි. කිලිනොච්චියෙ රුපියල් 43,000යි. ඒ අනුව රුපියල් 55,000ක පමණ වන පවුලක හතර දෙනකුට වියදම් වන මුදල මාධ්‍යවේදීන්ට ලැබෙන්නෙත් නැහැ. කර්මාන්තශාලාවක සේවකයකුට ලැබෙන්නෙත් නැහැ. සාප්පු කඩේක සේවකයකුට ලැබෙන්නෙත් නැහැ.

ඒ නිසා අපි කියන්නේ ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. රුපියල අවප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඩොලරය ඉහළට ගියා. රුපියල පහළට ගියා. පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප් වැඩි වෙන්නෙ නැතිව ජීවත් වෙන්න බැහැ. ඒ නිසා දැන් අපි ඉල්ලන්නේ වැඩි වන ජීවන වියදමට රුපියලේ අවප්‍රමාණය සාපේක්‍ෂකව, හතර දෙනකුගේ පවුලට අවම තරමේ ජීවත් වෙන්න මාසෙකට රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් සිදුවිය යුතුයි.

මාසෙකට රුපියල් 10,000ක් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු නොකර මේ රටේ වහල් ශ්‍රමය විකුණන මිනිස්සු විකුණන මෑන්පවර් ක්‍රමය නීතිගත කරන්න ආණ්ඩුව නීති හදනවා. 2012 සිට රාජපක්‍ෂ මහත්තයා මේ ක්‍රමය ගෙනාවා. 2015 ජෝන් අමරතුංග ඇමැතිවරයා මේ වැඩේට මැදිහත් වුණා. දැන් ඒක බැරි වෙලා හාම්පුතෙක් දැම්මා කම්කරු ඇමැති විදියට. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ගොවියන්ට ගහපු සේනා දළඹුවා වගේ තමයි මේ ආණ්ඩුවට ගහන්නෙත් කම්කරු සේනාව සංවිධානය වෙලා.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු වතු සේවකයොත් දෛනික වැටුප 1,000ක් ඉල්ලනවා?

සාධාරණයි ඒක. තේ මිල වැඩි වීම පඩි වැඩි වීමට වඩා දස දහස් ගුණයකින් වැඩි වෙලා. වතු සේවක ඉල්ලීම සාධාරණයි. ඔවුන්ගේ සටනට අපි අපේ වෘත්තීය සමිති ලෙස උපරිම සහාය දෙනවා.
gossip lanka