gossip lanka

මත්ජාවාරමුන් 24කගේ වත්කම් රාජසන්තක කිරීමට යයි

මීට සති කිහිපයකට පෙර බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ දෙසිය තිහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ සමන්තද සිල්වා ඇතුළු හඳුනාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනකුගේ බිලියන ගණනක් වූ වත්කම් රාජසන්තක කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදු කර ගෙන යයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ 2006 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මේ ජාවාරම්කරුවන්ගේ දේපළ සියල්ල රාජසන්තක කිරීම සිදු කරන බවයි. මේ ජාවාරම්කරුවන් 24 දෙනාම දෙස් විදෙස් සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් කරගෙන ගොස් ඇති ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෝ වෙති. මීට ඉහත දී මත් කුඩු ජාවාරම්කරුවන් 23 දෙනකු පරීක්ෂණ සිදු වෙමින් පැවැති බවත් 24වැනි ජාවාරම්කරු වශයෙන් පසුගිය දා බේරුවල ප්‍රදේශයේ දී මත්කුඩු කිලෝ ග්‍රෑම් 231ක් සමඟ අත්අඩංගුවට ගත් බේරුවල්, මොරගල, ගොඩැල්ල, අංක 295/3 පදිංචි විනායාදුර ඩුලිප් සමන්ත ද සිල්වා විසි හතර වැනි ජාවාරම්කරු වශයෙන් මේ පරීක්ෂණ ජාලයට එකතු වී ඇති බවයි.

මේ ජාවාරම්කරුට රුපියල් කෝටි ගණනක දේපළ ඇති බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි කර ගෙන තිබේ. මොහු සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර, ඉතිරි සැකකරුවන් අතර විදෙස් රටවලට පැනගත් අයත් රිමාන්ඩ් බාරයේ සිටින පිරිස් ද, ජාවාරම්කරුවන් ද සිටින බව පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා එම ජවාරම්කරුවන් සතුව බිලියන සිය ගණනක දේපළ ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි කර ගෙන ඇති බවද පැවැසීය.

මීට පෙර ජාත්‍යන්තර ජාවාරම්කරුවන් තිදෙනකුගේ දේපළ රාජසන්තක කෙරිණි. මොවුන් එම බිලියන ගණනක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දිනකට රට පුරා මත්කුඩු පාවිච්චි කරන පිරිස දහස් ගණනක් වෙයි. මේ මත්කුඩුවලින් එක් ජාවාරම්කරුවකුට දිනකට රුපියල් කෝටි පහ ඉක්මවා යන ආදායමක් ලැබෙන බව වාර්තා වෙයි. මේ මත්ද්‍රව්‍ය භාවිත කරන අය අතරින් වැඩි පිරිසක් තරුණ වයස්වල අය වෙති. ඉහත සඳහන් කෝටිපති කුඩු ජාවාරම්කරුවන්ගේ ජාවාරම රට පුරා ක්‍රියාත්මක කරවන ගෝලයන් දහස් ගණනක් සිටින අතර, මොවුන් දින පතා ආදායම ඉතාමත් සූක්ෂම ලෙස ඊෂි කෑෂ් සහ වෙනත් ක්‍රම ඔස්සේ එකතු කර විදෙස්ගතව සිටින සහ මෙරට සිටින ජාවාරම්කරුවන් වෙත ලැබීමට සලස්වයි. මේ ආකාරයෙන් දිනකට රුපියල් කෝටි පහකට වැඩි ශුද්ධ ආදායමක් ජාවාරම්කරුවකුට ලැබෙන බවද හෙළදරව් වී තිබේ.

මේ ජාවාරම සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට කටයුතු කරගෙන යන මෙහෙයුම් ගණනාවක් සිදු වන අතරතුර මේ කෝටිපති ජාවාම්කරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය සියලු විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් ලෙස සිදු වෙමින් පවතියි.
gossip lanka