gossip lanka

සියලූම ආගම් පැවත එන්නේ බෞද්ධාගම නිසා - ගෝඨා

බේරුවල පිංහේන ගංගාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප‍්‍රාකාරය හා අටවිසි බුදු කුටි විවෘත කිරීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලේය.

ගමකට පන්සල ඉතා වැදගත්.  ඕනෑම ශිෂ්ටාචාරයකට අපේ සංස්කෘතිය, ආගම වැදගත්. ආගමක් තුළින් තමයි පවුලක්, ගමක්, රටක් ගොඩනැගෙන්නේ. කුමන ආගමකින් හෝ වේවා අපේ සමාජය නිසි මඟකට යොමු කරන්නයි සෑම විටම උත්සාහ ගන්නේ.
විශේෂයෙන්ම රටේ ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු අපි රට ගොඩනැඟීමේදී ආගමට මුල්තැනක් දුන්නා. එදා උතුරු නැගෙනහිර විහාරස්ථානවලට ආරක්ෂාවට, සංවර්ධනයට සිවිල් ආරක්ෂක භටයන් යොදවන්නට කටයුතු කළා. පන්සල් පමණක් නොව, කෝවිල්, පල්ලි දියුණු කරන්නටත් ත‍්‍රිවිධ හමුදාව යොදවන්නට කටයුතු කළා. මේ ආගමික ස්ථානය ආරක්ෂා කරමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන ගියා. හොඳ බෞද්ධයෙක් අනිකුත් ආගම්වලටත් ගරු කරනවා. සියලූම ආගම් පැවත එන්නේ බෞද්ධාගම නිසයි.

විහාරාධිපති නන්ද නායක හිමිපාණන් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුර ආධ්‍යාත්මිකවත් දරුවන් ඉදිරියට ගෙන යනවා. සෑම දෙමාපියෙක්ම දරුවන් දහම් පාසලට යොමු කරවීම වැදගත්. මේ විහාරස්ථානය තුළ සියලූම දේවල් දියුණු කොට තිබෙනවා. මේ විහාරස්ථානයේ නායක හිමිපාණන් වහන්සේ සිය වගකීම හොඳින් ඉටු කරන බව පේන්නට තිබෙනවා. විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් දායකත්වය ලබාදෙන දායකයන්ට ස්තූතිය පුද කරනවා. රටක්, සමාජයක් වශයෙන්  දියුණු වන විට අධ්‍යාපනය තුළින් ඉහළට යෑමෙදී ආගම සමඟම ක‍්‍රියා කිරීම ඉතා වැදගත්. අද පුද්ගලයන්ගේ නිදහස ගැන කතා කරනවා. පුද්ගලික නිදහස ලැබීමත් සමඟ ඔවුන්ගේ විනයත් වැදගත්. අනික් අයගේ පැවැත්ම කෙරෙහිත් සැලකිලිමත් විය යුතුයි. පන්සල කේන්ද්‍ර කරගෙන තමයි ගම ගොඩනැගෙන්නේ. පන්සල සමඟ නිතරම කටයුතු කළොත් අනිකුත් ආගම්වල අයටත් කිසිම බියක් සැකයක් නැතිව ජීවත් වීමට අවස්ථාව සැලසෙනවා.

– චමින්ද කරුණාරත්න
gossip lanka