gossip lanka

ක්‍රිකට් නිලවරණය යළි ආරවුලක !

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටින ක්‍රීඩා සමාජ හෙවත් ඡන්ද හිමි නාමලේඛනයට එරෙහි විරෝධතා පිළිබඳව පරීක්‍ෂණ කළ ආකාරය ගැන ක්‍රීඩා සමාජ නොසතුටෙන් පසුවන බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ව්‍යාකූල විය හැකි බව ද වාර්තා වේ.
ඇතැම් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ නිලවරණය මෙහෙයවීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව සමාන්‍යයෙන් පරීක්‍ෂණ කරන ආකාරයෙන් පරිබාහිරව කටයුතු කළ බවට චෝදනාද එල්ලකර තිබේ.

දකුණු පළාත් ක්‍රිකට් සංගමයට ඡන්ද ප්‍රකාශ කිරීමට අයිතිය ඉල්ලමින් ගොනු කළ විරෝධතාව සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයට පිටස්තර පුද්ගලයන් දෙදෙනකු සහභාගි වී සිටි බව වාර්තා වේ.

එම පිටස්තර පුද්ගලයන් දෙදෙනා පරීක්‍ෂණය අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වයට එරෙහිව කරුණු දැක්වීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වූ බවද දැනගන්නට තිබේ.

කිසියම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට චෝදනාවක් හෝ විරෝධතාවක් යොමුවූ විට පරීක්‍ෂණය සඳහා සාමාන්‍යයෙන් අදාළ පාර්ශව දෙක කැඳවයි.

එය එසේ වුවද පසුගිය සෙනසුරාදා පැවැති පරීක්‍ෂණයට අදාළ පාර්ශවය වෙනුවට වෙනත් පාර්ශවයක් පරීක්‍ෂණයට සම්බන්ධ කර ඇති බවට චෝදනා එල්ල වේ.

එහිදී පැමිණිලි පාර්ශ්වයේ විමසීමකට අනුව නිලවරණ කමිටුවේ සාමාජිකයකු එම පිටස්තර පාර්ශ්වය හඳුන්වා දුන් බවද දැනගන්නට තිබේ.

දකුණු පළාත් ක්‍රිකට් සංගමයට ඡන්ද අයිතිය නොමැති බවට පසුගිය අඟහරුවාදා නිලවරණ කමිටුව එම සංගමයේ හිටපු ලේකම්වරයාට නිල වශයෙන් දැනුම්දී තිබූ බව වාර්තා විය.

දකුණු පළාත් ක්‍රිකට් සංගමය ඡන්ද බලය අහිමිකිරීමේ තීරණයට එරෙහිව පසුගිය බදාදා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට අභියාචනයක් යොමුකිරීමට සුදානමින් සිටියේය. දකුණු පළාත් ක්‍රීකට් සංගමයේ නිලවරණය පැවැත්වීමට අධිකරණය වසර දෙකකට වැඩි කාලයක් පනවා තිබූ වාරණය පසුගියදා ඉවත් කළ අතර ඒ අනුව එම සංගමය ලබන දෙසැම්බර් මස 25 වැනිදා එනම් නත්තල් දින එම සංගමයේ නිලවරණය පැවත්වීමට තීරණය කර තිබේ.

කළුතර කායවර්ධන කවය ඉදිරිපත් කළ විරෝධතාවටද සාධාරණය ඉටු නොවූ බවට චෝදනා කරමින් එහි සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට පසුගියදා අභියාචනයක් යොමු කළේය. තවද ඇතැම් විරෝධතා පිළිබඳව අඩු අවධානයක් යොමුකළ බවටද චෝදනා එල්ල වේ.
gossip lanka