gossip lanka

රංජන්ගේ නඩුව පෙබරවාරි 26 කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26  වැනිදා කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියම කරන ලදී.

එම පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ මීට
පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසි අනුවය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසි තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් එහෙත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් දන්වා සිටියේය.

එමෙන්ම මෙම නඩුවට පාදක වී තිබෙන වග උත්තරකරුගේ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි ද තමන් වෙත ලැබි නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි ලේඛකාධිකාරී වරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතීසිය සහ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකාර පාර්ශ්වය වෙත නිකුත් කරන ලෙසයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රශ්නගත ප්‍රකාශයෙන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ නම් ඊට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කිරීම නීතිපතිවරයාගේ ඊළඟ පියවර බවයි.

අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 26 වැනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු සළකා බලන බව නියම කළේය.


ඡායාරූපය - ළහිරු හර්ෂණ


gossip lanka