gossip lanka

ලෝක වෙළදපලේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහතට - ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලත් අද රාත්‍රීයේ අඩු වේවිද ?

ඉන්ධන මිල සූත‍්‍රය යටතේ ඉන්ධන මිල සමාලෝචනය අද සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල අඩු කිරීමක් හෝ වැඩිකිරීමක් සිදු කිරීමට බොහෝදුරට ඉඩ තිබෙනවා. ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපලේ මිල ගණන් සැලකීමේදී ඉන්ධන මිල අඩු කිරීමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

මෙම ඉන්ධන මිල සූත‍්‍රය යහපාලන ආණ්ඩුව විසින් හඳුන්වා දුන් අතර කෙටි කාලයක් පැවැති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අත්හිටුවනු ලැබුවා. එහෙත්, ඉන්ධන මිල සූත‍්‍රය නැවත කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ නැවත දිවුරුම් දුන් මංගල සමරවීර කියා සිටියා. ඉන්ධන මිල සූත‍්‍රය හඳුන්වාදීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ඒ යටතේ ඉන්ධන මිල වැඩි කෙරුණා. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඉන්ධන මිල සූත‍්‍රය අත්හිටුවීමෙන් පසු ඉන්ධන මිල අවස්ථා 03කදී අඩු කෙරුණා.

මේ පිළිබඳ කළ විමසීමකදී ඛණිජ තෙල් සම්පත් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ ජාත්‍යන්තර වෙළඳපලේ ඉන්ධන මිල අඩුවීම සැලකිල්ලට ගෙන තමන් එම සහනය ජනතාවට ලබා දුන් බවයි. දැන් නව ආණ්ඩුව සිදු කරන්නේ කුමක්දැයි  ඕනෑකමින් බලා සිටින බවද ඔහු පැවසුවා. ඉකුත් මාස කිහිපයේදී ලෝක වෙළඳපලේ බොරතෙල් මිල සීග‍්‍රයෙන් පහත වැටුණා. ඔපෙක් සංවිධානයට අනුව ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 55 යි දශම 1යි 3ක් ලෙසයි. මේ අතර බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව ලබන වසරේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73ක පමණ සාමාන්‍ය අගයක පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේවෙතත් ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය ඇස්තමේන්තු කර ඇත්තේ ලබන වසරේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80ක් පමණ දක්වා වැඩි වනු ඇති බවයි. ලබන වසරේ බොරතෙල් අපනයනයෙන් උපයා ගන්නා ආදායම වැඩිකර ගැනීමටද සෞදි අරාබිය අපේක්ෂා කරනවා. එහෙත් බොහෝ ඇස්තමේන්තු වල දැක්වෙන පරිදි බොරතෙල් මිල අඩුවුවහොත් සෞදි ආරාබියට ඔවුන්ගේ අයවැය තුලනය කර ගැනීමද අසීරු වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. සෞදි අරාබියේ අයවැය හිගය පියවා ගැනීමට නම් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95ක් දක්වාවත් වැඩිවිය යුතු බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ඇස්තමේන්තු කර තිබෙනවා.
gossip lanka