gossip lanka

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට සිට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 1 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත්වල පමණක් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේදී, අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූපය ඇලවීම අවශ්‍ය නොවේ.

මේ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප හල් වලින් පමණක් ඡායාරූප ගත යුතුය.

එහිදී ගනු ලබන ඡායාරූප අයදුම්කරුට නොලැබෙන අතර ඡායාරූප ශාලා විසින් එය online (විද්‍යුත් තැපෑල) මගින් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ.

ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් ඡායාරූප ශාලාව විසින් ලබාදෙන රිසිට් පතේ අලවනු ලබන අතර එම රිසිට් පත අයදුම්කරු විසින් තම ඉල්ලුම් පත්‍රය සමග ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවෙත බාරදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සුහුරු ජාතික හැඳුනුම්පත්වලට ඡායාරූප ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ඡායාරූප ශාලා 2100ක් දැනට ලියාපදිංචි කොට තිබේ.

ඔවුන්ට ඒවා දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව සැකසූ විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති බව ගුණතිලක මහතා වැඩිදුරටත් සදහන් කරයි.
gossip lanka