gossip lanka

උසස් පෙළ දක්ෂයෝ වැඩිදෙනා බස්නාහිරෙන් !

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව විද්‍යාව විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත්තේ, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, කළණි සමුද්‍රා රාජපක්ෂයි.

එම විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ විසින් දිනා ගෙන ඇති අතර තෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ, මාතලේ සහිරා විද්‍යාලයේ, මුහම්මද් රිස්මි මුහම්මද් හකීම් කරීම්ටය.
භෞතික විද්‍යාවේ එක කොළඹ විශාඛාවට

භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය විසින් හිමි කර ගෙන තිබේ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවා භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.

එම විෂය ධාරාවේන් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, කොළඹ රාජකීය විද්‍යාලයේ හෙට්ටිකාන්කානන්ගේ තෙවිදු ජනිත් විජේසේකර සිසුවායි.

වානිජ එක කුරුණෑගලට


වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කසුන් ඉදුරංග වික්‍රමරත්න සිසුවාටයි.

එම විෂය ධාරාවෙන් දිවයිනේ දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, රණවීර ආරච්චිලාගේ උචිනි අයත්මා රණවීර සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ තෙවැනි ස්ථානය හිමි කර ගෙන ගැනීමට සමත්ව ඇත්තේ, කොළඹ මියුසියස් විද්‍යලයේ වීරකෝන් මුදියන්සේලාගේ මලිති ජයරත්න සිසුවියයි.

කලා පානදුරට

කලා විෂය ධාරාව යටතේ, දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තුයිඅප්පුආරච්චිගේ දොන සෙනාදී දම්යාද අල්විස් සිසුවිය සමත් විය.

එහි දෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ, එදිරිසිංහමුදියන්සේලාගේ සිත්මි නිමාෂි සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර කලා විෂය ධාරාවෙන් දිවයිනේ තෙවැනි ස්ථානයට පත් ව ඇත්තේ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ පිටිගල ආරච්චිගේ ඉෂානි උමේෂා කුමාරි සිසුවියයි.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ මහපතිරන්නැහෙලාගේ පමුදිත යසස් පතිරණ සිසුවා විසින් හිමි කර ගෙන තිබේ.

ඉන්ජිනේරුවා ආනන්දයෙන්


එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ, සමරනායක තරිදු හේෂාන් සිසුවා සමත්ව ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ තෙවැනි ස්ථානය, නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ, විජේකොන් මුදියන්සේලාගේ සෙෂාන් රංගන විජේකොන් සිසුවා විසින් හිමිකර ගත්තේ ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය සමත් ව ඇත.

එම විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහොදින් බාවා රිෂා මොහොමඩ් සිසුවා විසින් හිමි කර ගත්තේ ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්ථානයට හිමි කර ගෙන ඇත්තේ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලංකාරගේ විසිදු දිලෙන්ක ලක්මාල් සිසුවායි.

විශ්ව විද්‍යාල ප්‍රවේශය ශිෂ්‍යයින් 160 කට


මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ශිෂ්‍යයින් 160, 907 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටියහ.

119ක ප්‍රතිඵල අත්හිටුවයි

ඉන් ශිෂ්‍යයින් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ලබන මස 16 වැනි දා බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පාසැල් අයැදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයැදුම්පත් විදුහල්පතිවරුගෙන් ලබාගත හැකියි.

පෞද්ගලික අයැදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයැදුම්පත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 0112 78 42 08 / 011 2 78 45 37 /011 31 88 350 හෝ 011 3 14 03 14 දුරකතන අංකවලින් ලබාගත හැකි.
gossip lanka