gossip lanka

අද රෑ 12න් පසු සා.පෙළ උපකාරක පන්ති බැහැ, අමතර පංති පවත්වන අයට නිතිය ක්‍රියාත්මක වෙයි

ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද (27) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේ කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන්
විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට සහ පොලිස් මූලස්ථානයේ 0112 421 111ට හෝ 119 වන පොලිස් හදිසි දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බවයි විභාග කොමසාරිස් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 3 වැනිදායින් ආරම්භ වී ලබන මස 12 වනදායින් අවසන් වනවා.

එමෙන්ම  රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය ලබන 30 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, පාසල් නිවාඩුව ආසන්න වුවත් ලබන වසරට අදාළව පෙළ පොත් බෙදා දීම සහ නිළ ඇඳුම් ලබාදීම මෙතෙක් ප්‍රමාණවත් ලෙස සිදුකර නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුකොටගෙන අධ්‍යාපන අමාත්‍යාංශය ඒවා මඟහරිමින් සිටින බවයි.


gossip lanka