gossip lanka

මහින්දට එරෙහි පෙත්සම් විභාගය සඳුදාට කල් තබයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම බල රහිත කිරීමේ 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ නඩු විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තබයි.

එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා
අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපතිවරයා පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, එම විරෝධතාව ඇතුළත් ඉල්ලීම ඉදිරිපත් කළේ ඊයේ (30) එය සලකා බැලූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා ඇතුළු හතළිස් නව දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් මහතා අධිකරණයට කරුණු දක්වමින්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් යෝජනා දෙකක්

නමුත්, මෙම විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ විධිමත්ව සම්මත වී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන වලට අනුව අධිකරණයට කිසිදු බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පැවසූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන් ද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේවුවද අදාළ නඩු විභාගය ලබන සඳුදා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

 (බීබීසී සිංහල සේවය)


gossip lanka